Sunday, December 29, 2013

(69..). 2013 සහ කළු සුදු වූ මම

2013 වසර ගෙවී යන්නට මහා දවසක් නම් නැහැ ..හරියටම අද මම මේ ලියන දවස ගෙවුනට පස්සේ එන්නේ...දින 02 යි...2013 ආවා...ඇවිත් ගියා..අද ඊයේ වගේ


ඉතින්..ගත වූ වසර දිහා ආපහු හැරිලා බලද්දී..දැනෙන දේ ලියලා ....පෝස්ට් 69ක් ලියපු කළු සහ සුදු 2014 ට යන්න හදන්නේ ..(ඇත්තටම මම එච්චර ලිව්වද කියලත් මම තවම හිතනවා...)
ගත වූ ටික කාලේදී මට ඇත්තටම කිසිම දෙයක් ලියන්න වුනේ නැහැ...
බොහෝ ලෙසින්ම කාර්ය බහුල වුන නිසා...
ඒ වුනාට ..මුණු පොත හරහා හඳුනා ගත්තු මගේ බ්ලොග් සොයුරු සොයුරියන්..ඒ හරහා හමු වුන නිසා...මට නොලියවුන එකේ අඩුවක් දැනුනේ නැහැ ..
දැන් " කළු සහ සුදු " කියන්නේ කවුද කියන එක...ගොඩක් දෙනා දන්නවා නේ...

ඉතින් මේ ලියන්නේ 2013 දිහා බලන් කරන පසු විපරමක්...





2013 දි...මට කරන්න ලැබුණ අපූරු දේවල් අතරින්..මම හිනා වෙලා සමරන කීපයක්ම තියනවා..
මගේ මේ බ්ලොග් එක ...."කළු සහ සුදු.."...මම පටන් ගත්තේ 2013 ජනවාරි මාසෙදි..
අපේ හසරැල් ගේ බ්ලොග් කියවන්නෙක් ලෙස එකතු වෙලා පටන් ගත්තු බ්ලොග් ලෝකෙට ..මට අවතීර්ණ වෙන්න පාර කපලා දුන්නේ හසරැල්..මගේ චූටි මල්ලි...
ඉතින්....ආධුනිකයෙක් විදියට ලියන්න පටන් අරන්...ආව ගමනේ ...දැන් මම අවුරුද්දක් ගෙවලා...
ඒ ගමනේදී...මට කිසිම අපහාසයක් ...උපහාසයක් ලැබුනද කියලා හිතල බැලුවොත්...එකම එක වතාවක් පමණයි...ඒ කෙනා මට කියූ දේ ඒ පුද්ගලයාගේ නොදැනුවත් කම රටටම පෙන්නුවා පමණයි...මගේ වටා උන්න මගේ සොහොයුරන් වගේ උන්න...ඔයාල ඒ වෙලාවෙත් මගේ හිත හැදුවා...
දැන් නම්..ඉතින්...මට ලොකු පන්නරයක් තියනවා...ගල් මුල් වගේම මල් එක ලෙස පිළිගන්න .
ඉතින් 2014 දි ත් මම කළු සහ සුදු ලෙසින්ම බ්ලොග් පෝස්ට් එකතුවක් එක්ක ඔයාල එක්ක ඉන්න එනවා...


හිතට දුකක් දැනෙන එකම දේ ...කට්ටියව මුණ ගැහෙන්න පෙරුම් පුරාගෙන බලන් උන්න ...සයිබර් බීච් පාටි එකට එන්න නොලැබීම...ඒත්...ලබන අවුරුද්දේ ඒ වගේ හමුවකදී ...අපි මුණ ගැහෙයි...
( මේ දවස් වල Dude...ලංකාවට ඇවිල්ලද ඉන්නෙ...සයිබර් එකට ආවද...? නිකම් ඒ වගේ මූණක් දැක්කා...ෆොටෝ වල...)

**************************************************************************************

2013 දිහා හැරිලා බැලුවම මම මනුස්සයෙක් විදියට ජීවිතේ ඉස්සරහට ගියා කියලා මට දැනෙනවා..
මගේ වෘත්තීය ජීවිතේ ඔයාල දන්නවනේ...
සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ...ශාරීරික ආබාධ සහිත වූ මිනිසුන් ට ප්‍රතිකාර මය පැත්තෙන් සහය වන කෙනෙක් ලෙස...මම ඒ අංශයෙන් බොහෝ දේ මේ වසර තුළදීත් කළා...
මගේ වෘත්තීයට අදාළ උපාධිය සම්පූර්ණ කල මේ වසර මට ඉතාම වැදගත්..ඒ වගේම ...උපාධිය හරහා මට හඳුනා ගත් වෛද්‍ය වරුන් එක්ක මට බොහෝ වැඩසටහන් කරන්නට ලැබුණා...ඇත්තෙන්ම මම සතුටු වෙන එක කාරණයක් ඒක...මූණු පොත හරහා මම ඒ සතුට හා කරුණු ඔයාලට ගෙනාවා...


*************************************************************************************

2013 වසර ගත්තම ...මම හැමදාමත් බලන් ඉන්න ...කෙනෙකුට මගෙන් කල හැකි යුතුකම් සහ උදවු ඉටුකිරීමත් මගෙන් උපරිමේටම උනා කියල මම සතුටින්ම හිතනවා...
මට කෙනෙකුට මගේ වෘත්තීය හරහා උදවු කරන්නට ඇත්නම්..ඒ දේ කරන්නට මම බොහෝ කැමැත්තෙන් ඉදිරිපත් වෙනවා...මොකද..."නිරෝගී කම හැර සැපතක් ලොවේ කොයින්දා..."කියන දේ මම අදහන..දකින බැවින්...
ඉතින්..මේ උදවු කිරීම් හරහා...මට හඳුනා ගන්නට ලැබුණ අයත් ගොඩයි...
ඒ අය ඇත්තටම හරිම සුන්දර හිත ඇති චරිත...



****************************************************************************************
දිනපොත......මගේ ..නැහැ ...අපේ දිනපොත ....පහු ගිය ටිකේ ලියන්නට වුනේ නැහැ...
ඉතින් 2014 දි ඒකත් ලියන්නට ඕන...
ඒ අතරට...මට ලියන්නට බොහෝ දේවල් දැන් හිතේ ගොඩ ගැහිලා...
අත්දැකීම්...දැනුවත් විය යුතු කරුණු ..බොහොමයක්...පෙළ ගැහෙමින් ඉන්නවා...
ඒ හැම දේම ඉඩ ඇති ලෙස..කුරුටු ගාන්නට ...මගේ ඇඟිලි තුඩු...2014 දි මට සහය වේවි...



****************************************************************************************

ඉතින්.....ජීවිතේ ආපස්සට හැරිලා බැලුවම දුක සහ සතුට මැද්දේ දෝලනය වන මගේ ජීවිතේ...කොයි පැත්තටද බර වැඩි කියලා හිතුවොත්...මම කියන්නේ ..සතුට..පැත්තට කියලා..
දුක කියන දේ සතුටේ..දර්පන ප්‍රතිබිම්බයක්..ඒකෙන් අපිට මිදෙන්න බැහැ...
ඉතින් දුක වගේම ...සතුට ..අපි බෙදා ගම්මු 2014 දි ත් ...



***************************************************************************************
අලුත් අවුරුද්ද ගත්තම ලොකුම ලොකු නොවුනට ...මගෙත් තියනවා..බලාපොරොත්තු ගොන්නක්...
මගේ...වගේම මගේ දරුවන්ගේ..පවුලේ,,.....ඉදිරි ඉලක්ක ...
ඒ වගේම මගේ වෘත්තීය ජීවිතේ යම් වෙනසක්..ඉදිරියට යෑමක්...
මගේ ලොකු ආසාවක් වන යමක් ලිවීමේ ඕනෑකම..
මේ හැමදේම...
එක්ක ..
මම 2014 දිහා බලන් ඉන්නවා...



****************************************************************************************

මිනිසෙකු ලෙස ඉපදී...මිනිසකු ලෙස ජීවත් වී...ඒ මිනිසත් කම ඉතුරු කරන මිය යනතුරා...කිසිවෙකුට බරක් නොවන්නට....මම කැමතියි..
කාගේ හෝ හිතකට බරක් නොවන තුරු..මගේ දිවිය සැහැල්ලුයි..
ඉතින්..මම මගේ කළු සුදු බ්ලොග් එකේ කරන එකම වෙනස ...මේ තරම් කල් ...උන්න පාට පාට රෝස මල වෙනුවට වෙන පින්තුරයක් 2014 දි එක් කිරීමයි...
ඒ කුමක්ද කියලා මම තවම හිතනවා...
ඉතින් 2014 දි ...අපි ඒ වෙනස විතරක් අරන්....
සුපුරුදු ලෙන්ගතු කමින් හමුවෙමු...



****************************************************************************************

ඔබගේ ලෙන්ගතු කම වෙනුවෙන් ...මේ කෙටි සටහන මම තබන්නේ...
මුළු හදවතේ පිරුන ..
සෙනෙහසින්මයි...
ඉතින්...ඔබ සැමට..සුබම සුබ 2014 වසරක් වේවා....



මම ...කළු සහ සුදු...
හෙවත්........වාසනා දහනායක ....ඔබේ දයාබර මිතුරිය....යි...



Saturday, November 30, 2013

68.දෙවියන් බඳු වූ..ඔබ ගැන මතකය ..

ජීවිතේ ගමන් මගදී අපිට හමු වන විවිධ අය ඉන්නවා නේ..
සමහරු ඇවිත් යනවා,...සමහරු පදිංචි වෙලා ඉන්නවා..
තවත් සමහරු ඇවිල්ලා..කවදාවත් නොමැකෙන සලකුණු තියලා සමු ගෙන යනවා...
සමහර අය ..මතක් කරද්දීත් දැනෙන්නේ හරිම මිහිරි හැගීමක්..

මම දන්නවා..කට්ටිය දැන් පීලි පැනගෙන ඉන්නේ කියලා...
රොමැන්ටික් ස්ටෝරි එකක් අහන්න පුල පුලා බලා සිටින ඔබ සැමගේ බලාපොරොත්තු බිඳ දැමීමට සිදුවීම ගැන දැඩි ලෙස කනගාටු වෙන්න මට මේ අවස්ථාවේ සිද්ධ වෙනවා...



මේ සටහන මම ලියන්නේ මට ඉගැන් වූ ගුරුමවක්  ගැන...

මේ සටහනට හේතු පාදක වුනේ අද දවසේ සිදු වූ එක සිදුවීමක්...

මම කොළඹ ඉගන ගන්න ආවේ 1995.දී ....

මේ ඉගන ගන්න ආව පුහුණු පාසලේ විදුහල්පති තුමිය ...ඇය ඇත්තටම වචනයේ පරි සමාප්ත අර්ථයෙන්ම මට නම් වුනේ මවක්...ඇයගේ ඉගැන්වීම වගේම මිනිසත්කම ...මට මහා පාඩම් ගොඩක් කියාදුන්න...

කිසිදා කිසිදු ශිෂ්‍ය ශිෂ්‍යාවකට විශේෂත්වයක් ඇය දැක්වුවේ නැහැ..හැබැයි හැමෝටම සැලකුවේ එක වගේ...එහෙම අය අද කාලෙත් ඉන්නවද කියන්න මට හිතා ගන්න බැහැ..
නමුත්....ඇය අපිව ඇගයිය යුතු තැනදී අගයුවා..ඉස්සරහට තල්ලු කරගෙන ගියා..

හැබැයි මට ඇය ගේ මුවින්ම පසු කාලයකදී ලැබුන චරිත සහතිකයට ..මම අදටත් ආදරෙයි..."ගමේ ඉඳන් ඇවිත්..ගමේ කම තියාගෙන මේ තැනින් එලියට ගිය කීප දෙනයි..මම දැක්කේ...ඒ එක්කෙනෙක් ඔයා "..කියලා...මොකද අපේ විදුහල්පති තුමියට මම අඳින පලඳින විදිය පවා මතක තිබුනා..අරුමෝසම් වලට යට නොවුන ..මගේ විදියට ඇය ප්‍රසංශා කළා...

මගේ මතකය දෙයියනේ කියලා බොහොම හොඳයි..ඔය උපන් දින දින වකවානු..සාමාන්‍යයෙන් අගේට මතක හිටිනවා ..
හැමදාම අපේ විදුහල්පති තුමියගේ උපන් දිනේ දවසට මම සුබපතනවා..බොහෝ වෙලාවට ඇය ට ම ලියපු නිසඳැසක් එක්ක සුබ පැතුම් මැසේජ් එකක් යවනවා..
මේ සැරේ වුනේ නැතයි..අමතක..එක වුනෙත් මේ කෙහෙල්මල් ස්ට්‍රයික් එකක් නිසා..ගෙදරට වෙලා උන්නා...අමතකම වුනා...

ඔන්න අද තමයි..උඩ ගිහින් බිම වැටිලා වගේ මතක් වුනේ දෙයියනේ මම මැසේජ් එකක් වත් යැවුවේ නැහැ නේද කියලා..
හැරෙන තැපෑලෙන් දඩි බිඩි ගාලා නිසඳැසක් ලියාගත්ත..යැව්වා මැසේජ් එක...
මේ තියෙන්නේ ඒක...

අහසක් තරම් කුළුණින් පිරූ
ගඟුලක් තරම් සිහිලස මැවූ
දෙවොලක් තරම් බැතියෙන් පිදූ
මගේ මවුනි ඔබ දිනේවා මතු...


මෙන්න ටිකකින් කෝල් එකක්...මගේ ඇස්දෙක තෙත් වුනා...මැඩම් ගේ වචන ටිකට.."ඔයාට මේක අමතක වෙන්නේ නැහැ කියලා මම දන්නවා..එත් මේ සැරේ පහු වෙද්දී අපේ මහත්තයත් ඇහුවා..කෝ ආවේ නැද්ද කියලා...ඒ වුනාට..ගිය අවුරුද්දේ..ඔයා මට එව්ව සුබපැතුම මට අවුරුදු 5,6 කට ඇති කියලා..."

මට ඇත්තටම මතක නැහැ..මම ගිය අවුරුද්දේ මැඩම් ට ලිව්ව නිසඳස..ඒත්..ඒ ගැන මැඩම් මට ගොඩක් කතාකල බව මට මතකයි...
අපි ලියන කියන පුංචි දේත්...කෙනෙක් ගේ හිතට කොයි තරම් බලපෑමක් කරනවද කියලා අපි හිතන්න ඕන..

විශ්‍රාම ගිහින් ගෙදරට වෙලා ඉන්න ඇය...මගේ සුබ පැතුම එක්ක කොයි තරම් සතුටු වෙන්න ඇත්ද කියලා මට ඒ වෙලාවේ තේරුනා...ඒක ඇයගේ කටහඬින් මට හොඳටම දැනුණා..
ජීවිතේ අපිට ආදරය කරන මිනිස්සු ගොඩක් ඉන්න පුළුවන්..ඒත්..මහා ලොකු දෙයක් නෙවෙයි..පුංචිම පුංචි දෙයින් පවා..හිතක් සනසන්න වගේම හිතක් කඩා වට්ටන්නත් අපිට පුළුවන්...

ඒ නිසා..මට අද මේ සටහනෙන් ..මම ඒ කල දේ ගැන දැනුන සතුට ලියා තබන්නයි ඕන වුනේ..

Sunday, November 24, 2013

67.ඒ සොඳුරු අතීතය ..

මේ සතියේ දිනපොත නොලියා...වෙන දෙයක් ලියන්න හිතුනා...
මම නම් ඉතින් කාටවත් මඩ ගහන මනුස්සයෙක් නෙවෙයි
මගේ සහෝදර ඩබල ..මාවම කන්න හැදුවට...
මටත් ඔය කිව්වට ...ඒ දෙන්නගෙන් මඩ පාරක් නැත්නම්..කෑවේ බිව්වේ නැහැ වගේ...
විශේෂයෙන්ම අපේ ලොකු එකා....
මට මඩ ගහන එක තරම් ආසාවෙන් කරන විනෝදාංශයක් මිනිහට නැතුව ඇති...


මොනවා වුනත්...ඔය කොල්ලෝ දෙන්නා..මට පණ වගේ....
මේ ආදරෙත් එක්ක මගේ අතීත මතකයන් චුට්ටක් මම මේ අවුස්සන්නේ...
මේවයින් මඩ හරි..එහෙමත් නැත්නම් හරිවැරදි බ්ලොගේ ලියන්න හිතන් උන්න ඒවා හරි ලියවෙලා නම් කමා කරත්වා...

මම අපේ පවුලේ ලොකු අක්කා....
අක්කා....කිව්වට හසරල්ලාට වඩා අවුරුදු 12ක්ම වැඩිමල්...
අනිකා ට වඩා අවුරුදු 5ක්....
අපේ අම්මලා අපි අතරේ ලොකු පරතරයක් තිව්ව එකෙන් ..අපි ට එයාලගේ අවධානය සැලකිල්ල හැමදාම නොඅඩුව ලැබුනා...
ඒ වගේම මල්ලිලා දෙන්න හින්දා...මම පොඩි කාලේ ඉඳන්ම කට්ට කෑවා..
ඇයි වදේ..අපේ අම්මා මුන් දෙන්නව බලාගන්න රාජකාරිය පැවරුවේ මට නේ...

අපේ ඔය ලොකු මලයා ඉන්නවා නේද..දැන් නම් ඉන්නවා අහිංසකයා වගේ..(වගේ කියලා විතරයි මම කිව්වේ...හරිද..)
පොඩි කාලේ මහා වසවර්තියා..හොස්ස ලඟින් මැස්සා යන්න බැහැ...යකා වගේ...
හැබැයි අනේ කසාද බැන්දට පස්සේ..ඔය ගති ඇරුනා..පවුලගෙන් ගුටි කනවා කියන එක වුනත් හැමදාමත් බැරි නිසා වෙන්න ඇති...
ඒ දවස් වල..අපේ අම්මලා කියන්නේ අපි දෙන්නා..ගිය ආත්මේ වෛරක්කරයෝද මන්දා..කියල..
ඒ තරමට ගහ ගන්නවා...ගහ ගන්නවා කියන්නේ ගුටි කනවා මම ...මේ අලියා මට පතබාන කොට ඒ කාලේ කෝටුකිතයියා වගේ උන්න මට ආපිට ගහන්න බැහැ...
හැබැයි ගෝරිය හැමදාම කෙලවර වුනේ..අම්මගෙන් දෙන්නම ගුටි කාලා...

ඔය මොනා වුනත්...ලොක්කා අම්මගෙන් ඉස්සර හරියට ගුටි කනවා...අපි පේ අම්මලාගෙන් ගුටි කාපු තරමෙන් අරික්කාලක් දැන් හැදෙන එවුන්ට ගැහුවොත්...උන් චැනල් 4 එකටත් කියාවි...
හැබැයි..මොන රණ්ඩුව ගෙන වුනත්..ඉස්සර අම්මා ලොක්කට ගහන කොට මට බලන් ඉන්න බැහැ..මම පනිනවා මැදට..කකුල් වල හීනි කෝටු පාරවල් ...දෙන්නම අන්තිමට කනවා..
ඔන්න ඔහොමයි මගේ සහෝදර ප්‍රේමය..(මේවා ට මට සලකනවා මදි ...නැද්ද..)

අපේ ලොක්කා..ගේ ඉස්කෝල සෙල්ලම්....එයා ලිව්වා නේ ..ඒකෙ අර ගෑනු ළමෙක් ගැන එහෙමත් කිව්වා නේ..ඕවා ගැන ලියන්න හොඳ නැහැ..
හැබැයි ඉතින් දෙයියන්ගේ පිහිටෙන් අක්කලා මල්ලිලා...ඒවාට නම් එක පයින් සපෝර්ට් කරගත්තා...
ඉස්සර අපේ ගෙදර..විජය පත්තර ගොඩ ගහලා..තිබ්බා..
අනේ ඉතින් දැන් වගේද...
පත්තර ම තමයි අපිට..
පත්තර ඇතුලේ හංගපු ලියුම් කරදහිත් එමට..
අපි ඉතින්...ඒවා ශේප් එකේ ගිහින්..ඔන්න...කියලා ආපහු දෙනවා...
අම්මලා ගැන හිතලයි වැඩිපුරම එහෙම කලේ..
නැත්නම් අර වයසක දෙන්නා..ඕව බලල නරක වුනොත් කියලා මට සැහෙන්න බයක් තිබ්බා...

හසරැල්ලා හම්බ වෙනකොට මම 6 පන්තියේද කොහෙද...
මම ඉස්කෝලෙට දාල අපේ අම්ම හොස්පිටල් ඇඩ්මිට් වුනේ..ඉස්කෝලේ ඉවර වෙලා යද්දී..මෙන්න මේකා හම්බ වෙලා...
මට තවම මතකයි....
ලොකු අක්කෙක් වුන මට...හසරැල් ගේ වගකීම් ලැබුනේ පුංචි කාලේ ඉඳන්මයි..
ඒක තවම මම මතක් කර කර විඳින දෙයක්..


ඉස්සර අපේ ගෙදර ඉස්සරහ අඹ ගහක් තිබ්බා..ඒකෙ ඔන්චිල්ලාවක් බැඳලා තිබුනා..
මම හසරැල් ට කවන්නේ ඔන්චිල්ලාවේ ඉඳන්...
අර මහා වැඳිරි පැටියා බඩේ බැඳන් ඉන්නවා වගේ වැඩි කරගෙන...බත් කට කට කවන ගමන් මම හෙමීට ඔන්චිල්ලාව පදිනවා...අන්තිමට කොල්ලා කාලා..නින්දකුත් එහෙම්මම දානවා...
මම A/L කරන කොට හසරැල් 2 පන්තියේ.A/L ඉවර වෙද්දීම අපේ සීයා නැති වුනා..ඊට පස්සේ මම තමයි හසරැල් ව ඉස්කෝලේ එක්ක ගියේ...
ඒ කාලේ ඉස්කෝලේ හිටිය සම වයසේ කොල්ලෝ මට කියන්නේ "පුංචි අම්මා.." කියලා...
රාහුලේ තාප්පෙන් එබිලා..පුංචි අම්මේ කියලා කෑගනවා...
සමහරු හසරල්ලා අතේ ...එක එක ඒවා එවපු දවසුත් තිබ්බා..

එකේ රසම කතාව මෙන්න මේකයි..මේ වගේ දවසක බස් එකේ මම හසරැල් එක්ක එද්දී..අපේ හසරල්ලා මහා හයියෙන් බස් එකේදී කෑ ගහලා කිව්වා නේ...
"අක්කේ..අර ඔයාගේ යාලු අයියා..ඔයාට දෙන්න කියලා කජු ගෙඩියක් දුන්නා කියලා..."
මගේ  සායම ගියා..මුළු බස් එකම හිනා වෙන්න ගත්තා..
කොහෙද යන නොසන්ඩාල කොල්ලෙක් ...කජු ඇටයක් දීලා ඔය ටික පොඩි එකාට උගන්නලා...

හැබැයි මගේ..ප්‍රේම පුරාණයේ ...මල් පල ගැන්වීමට හසරැල් ලොකු සේවයක් කලා
අපේ මහත්තයා කොහොමත් මස්සිනාලා දෙන්නට අදටත් හරි ආදරෙයි...

මම අම්මා නැති උනාට පස්සේ..මේ දෙන්නාගේ අක්කා වගේම අම්මා වුනා..
අපි සහෝදරයෝ වගේම හොඳ යාළුවො...
එකම ජාතියේ පිස්සෝ කියලා හිතුවත් කමක් නැහැ..බ්ලොග් කියවද්දී..ඔයාලට ඒක පේනවා නේ ..

කොහොම වුනත් ...කවදා හරි මට හයියට ඉන්නේ මේ කොල්ලෝ දෙන්නා..
මැරෙන දවසකට ....දෙපැත්තෙන් ඉඳන් අත් දෙක අල්ලගෙන හරි ඉන්න උන් දෙන්න මට ඉන්නවා..
මිනිස්සු ලොකු වෙද්දී..දේපලට ..ඉඩකඩම් වලට තණ්හාවෙන්..ඇන කොටා ගන්න වෙලාවේ..
අපිට එහෙම දේවල් කවදාවත් මතක් වුනේ නැහැ..
හැමදාම මොකක් හරි දේකදී එකෙක් බැලුවේ අනිත් උන් දෙන්නා ගැන ..

මේ සහෝදර කමට මං හරි ලෝබයි...
ඉරිදා උදේ පාන්දරම මේ ටික කොටා දැම්මේ ඒකයි...

ඉතින් ...දිනපොත ලබන සතියට හොඳේ....



ගිහින් එන්නම්.....

හැමෝටම සුබ සති අන්තයක්...





Sunday, November 17, 2013

66. ඉතින් අපි හිනැහෙමු....

ළමයිනේ...සියලුම වැඩ අස්සේ ඔන්න මේ බ්ලොගේ ලියනවා මම...
මොකද අපේ තුන් කට්ටුවේ දෙවනියා මට මහා මඩ ව්‍යාපාරයක් දියත් කරලා තියෙද්දී..අර මොකටද මම විතරක් කට වහන් ඉන්නේ නැද්ද..?
කොහොම වුනත් 2013 ඉවර වෙන්නත් ළඟ එකේ...මේක සති පතා ලියාගන්න මම බලනවා...2014 දිනපොත ලියන්න පුලුවන්ද කියලා ඊට පස්සේ හිතනවා...

******************************************************************************************
11. සඳුදා නොවැම්බර් 2013


අපි ජීවිතේ දිගුම දිගු ගමනක් යනවා..ආසාවල් බලාපොරොත්තු පොදි බැඳන්..ඒත්...අතරමග නවතින්නට වුනොත්...මොනවා හිතෙයි ද..මොනවා වෙයි ද...?

මේ සටහන අද මගේ හිතට ආවේ...මට ආව එක විශේෂ රෝගියෙක් නිසා...ඇත්තටම හිත කීරි ගැහිලා ගියා...කවදාවත් මෙහෙම දෙයක් මම දැකලා නැහැ...මගේ වෘත්තීය ජීවිතේදී...කොහොම වුනත් ඔයාල මගේ වෘත්තීය ගැන දන්නවා නේ ..හැමදාමත් මොකක් හෝ අලුත් අත්දැකීමක්...ඒවා සුන්දර නැහැ..ඒක වෙනම දෙයක්..ඒත්..මේ අහන්න මේත් ජීවිතයක්...

ඇය නමින් සුභා කියමු..ඇත්ත නම ඒක නවෙයි..ඒත්...හරිම අහිංසක ගැහැණු කෙනෙක්..වයස 27ක් ...රෝද පුටුවෙන් මගේ ලඟට ගෙනාව සුභා ගේ අතින් අල්ලාගෙන මම කතා කළා..
සුභා..මොලයට වුන හානියකින් ආබාධිත වූ කෙනෙක්..මේ දේ වෙලා තියෙන්නේ..ඇගේ පළමු දරුවා කුස දරා ඉඳිද්දී..සිදුව ඇති දේ වෛද්‍යවිද්‍යාවෙන් ටිකක් සංකීර්ණ දෙයක්,,,මොනවා වුනත් අන්තිමේදී මාස 8න් දරුවා මිය ගියා කුස තුලදීම...සුභා ආබාධිත වුනා..ඇගේ ඇස්දෙකත් නොපෙනී ගියා...

අවාසනාව..එද්දී මහා කරුමක්කාර ලෙසටම එන්නේ ඇයි..මම තවමත් ඇය දෙස බලන් හිතනවා..මගේ ඉස්සරහ ලොකු අභියෝගයක් දැන්..
ඇස්දෙක නොපෙනෙන සුභා ට ඇගේ වැඩ කරගන්නට පුහුණු කරවීම...උපන් දා සිට අන්ධ වූ කෙනෙකුට වගේ නෙවෙයි...මෙහෙම කෙනෙක්ට මේ වැඩේ අමාරුයි...
බලමු...නොහැක්කක් නොමැත කියලා වැඩේට දැන් මම බැහැලා ඉන්නේ...

******************************************************************************************

12 අඟහරුවාදා නොවැම්බර් 2013...




අපි ජීවිතේ විඳිනවද..ඇත්තටම...
මම ඔහේ ඉන්න ගමන් කල්පනා කරනවා...
ඒක අපි හිතන පතන විදිය අනුව වෙනස් වෙනවා..නේද..?
ජීවිතේ කාට හරි උදව්වක් කරලා විඳින සතුට තරම් දෙයක් මට නම් තවත් නැහැ..

අද ඒ වගේ සතුටු දායක ආරංචියක් ලැබුනා මට..
අපේ වාට්ටුවක ඉඳලා ගිය ළමයෙක් අද මට කතා කළා..
ඔහු වෘත්තියෙන් පෝස්ට්මාස්ටර් කෙනෙක්..
අහම්බෙන් ඇතිවූ ස්නායු ආබාධයක් නිසා ඔහු තදබල ලෙස රෝගී වුනා...ඇවිදින්නට තබා අතින්කිසිවක් ඇල්ලීමට බැරි වන තරම්..ඔහුගේ ආබාධය බරපතලවයි..ඔහු අපේ රෝහලට අවේ..මට මතකහැටියට නම් ඔහු මාස 7ක් 8ක් අපේ ප්‍රතිකාර වලට ලක්කළා අපි...

ටිකෙන් ටික සනීප වුනා මේ ළමයා..අන්තිමට ඔහු ගෙදර ගියා ඇත වාරුවෙන් ඇවිදලා..
ඒ හැමදේටම වඩා..සතුටු...ඔහු නැවත රැකියාවට යන එකයි..ඒ ගැන කියන්නයි අහු මට කතා කලේ..සාමාන්‍යයෙන් නැවත රැකියාවට යද්දී..medical board එකකට යන්න වෙනවා....ඒ සඳහා..සම්පුර්ණ තත්ත්ව ඇගයීමක් අපි ලබාදිය යුතුයි..
කොහොම හරි මගේ වාර්තාව..මත ඔහුට නැවත රැකියාවට යන්නට හැකි වුන බව..ඔහු කිව්වේ පුදුම සතුටකින්...
මේ දේ තමයි...මට දැනෙන දේ....සතුට....

****************************************************************************************

13 බදාදා.....නොවැම්බර් 2013.



ළමයි...ඔන්න අද මගේ උපන් දිනේ..ආයේ කියන්න එපා..කේක් නෑ...කියලා....ඔන්න එව්වා...කන්න...
ඉතින් happy birthday to me...
මූණු පොතේ මගේ බ්ලොග් යාලුවෝ ටික මට සුබ පැතුවා....ඉතින් ඔයාල හැමෝටම ගොඩක් ස්තුතියි...
වයස..ද...?
40යි....එච්චරම වයස නැහැ....

කොහොම වුනත්...මම සතුටින් අද දවස ගෙව්වා...
උම්ම්මා...ගොඩක් ලැබුනා...
කාගෙන්ද අහන්නේ...
වෙන කාගෙන්ද..
මගේ පුතු ගෙන්...මිසක...

ඉතින් අද නම් මොකුත් ලියන්නේ නැහැ....හොඳේ..

*****************************************************************************************

14 බ්‍රහස්පතින්දා නොවැම්බර් 2013.


ඔන්න ඉතින් ආපහු ගෙදරින් මාව පන්නන වැඩක් පැටවෙගෙන එන්නේ...
ඒ ගමන මැදවච්චියේ යන්න එන්නලු...
නෑ..නෑ..කිලිනොච්චි නෙවෙයි....මැදවච්චි....

වැඩේට යන්නම වෙන පාටයි...
මොනවා කරන්නද මන්දා..
ගෙදරින් නම් තරයේම විරෝධතාවය,,.....

බැරිම තැන අදාළ අයට කෝල් කරලා කිව්වා...දරුවෝ දෙන්නා බලාගන්න කෙනෙක් නෑ..ඒ නිසා එන්න අමාරුයි කියලා..
මදැයි...
ඒ ගමන කියනවා..ඒ දෙන්නවත් අරන් එන්නලු..කොල්ලෝ දෙන්නා එක පයින්....
දැන් ඉතින්....මොකද කරන්නේ...

තවම හිතනවා..
ඉතාම වැදගත් කටයුත්තක් නිසා මාත් යන්න ආසයි....විශේෂයෙන්ම ලංකාවේ ඉන්න පොඩි දරුවන් වෙනුවෙන් කෙරෙන දෙයක් නිසා...

******************************************************************************************
15.සිකුරාදා නොවැම්බර්  2013...



සතිය ගෙවුනා....ජීවිතේ කොයි තරම්...ඉක්මනට ගෙවිලා යනවද..?
අනේ..මේ ටිකේ අනිත් කට්ටියගේ බ්ලොග් කියවන්නත් මට බැරි වුනා..
තරහ අවසර...හෙමීට ඔක්කොම කියවලා....කොමෙන්ටු දානවා...

කියාගන්න දෙයක් නැතුව ඉද්දි ඇහුන සින්දුවක් එක්ක ටිකක් හැගීම් බර වුනා හිත..
හැම සින්දුවකටම පුලුවන්ද අපේ හිත් එහෙම කළඹවන්න....
බැහැ....
සමහර සින්දු අහද්දී..සිය දිවි හානි කරගන්න හිතෙනවා...ඇත්තමයි..

මේ සින්දුව...ටයිප් කරලා තියාගන්න තරම් හිතුනේ ඒ දැනුන සංහිඳියාව නිසාමයි...

සසර සැරිසරන තෙක්‌ ඔබ මගේ

---------------------------------
ඔබෙ දෙතොල් පෙති ලිහී පිපුනු හසරැල් විලේ
හද දියව ගලා යයි රැලි ලමින් සැලි සැලී
මෙවන් සුව පෙර නොවිඳි තුන් සිතම සලිත වේ
සසර සැරිසරන තෙක්‌ ඔබ මගේ ඔබ මගේ....

හිරු නිවී මුහුදු තෙර රාත්‍රිය එලඹිලා
තරු කඩා වැටෙන විට අහස් ගඟ කලඹලා
මට බලා ඉන්න බෑ ඔබෙ නුවන් පෙනෙනවා
සසර සැරිසරන තෙක්‌ ඔබ මගේ ඔබ මගේ.....

නා ගසක්‌ දළු දමා වසන්තය එලඹිලා
මද පවන් රැලි වැදී සැලෙනවිට කැලඹිලා
මට බලා ඉන්න බෑ ඔබෙ දෙතොල් පෙනෙනවා
සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ......

යුග ගණන් පැමිණි මග පැටලිලා වැරදිලා
ඔබ මගෙන් වෙන්ව ගිය ලකුණු ඇති මාවතේ
මට බලා ඉන්න බෑ පෙර ඇසුර හැගෙනවා
සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ........

අහස්‌ තල පොලෝ තල ඔබට මට පොදුවෙලා
හදවතින් එක්‌වුනත් ගතින් දෙදෙනෙක්‌ වෙලා
මට බලා ඉන්න බෑ සියොලඟම තැවෙනවා
සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ.......






ඉතින්....මොනවද හිතෙන්නේ....

******************************************************************************************


ගිහින් එන්නම්...සුබ සති අන්තයක් ඔබ සැමටම.....


මම කළු සහ සුදු....



Sunday, November 10, 2013

65...මගේ දිනපොත.....කාලෙකට පස්සේ...

බනින්න නම් එපා....ඔන්න කිවුවා..
මාත් ඉතින් මනුස්සයෙක් නේ...
දිනපොත ලියාගෙන ලියාගෙන ගිහින් එක පාරටම මාසයක්ම මේක නැති උනාම ඔය අපේ බ්ලොග් යාලුවෝ මට මුහුණු පොතේදී මරණ තර්ජන පවා කළා නේ...?
ඔන්න දැන් තමයි පොඩි පහේ විවේකයක් ආවේ...
එහෙනම්...ඉතින් ලෙන්ගතු වූ ඔයාල ගේ දිනපොත මෙන්න මම ලියනවා...

=========================================================================

04. සඳුදා...නොවැම්බර් 2013...


අපි ජීවිතේ ඇත්තටම සතුටින් ඉන්නවද...?
මේක ඉතින් බැලූ බැල්මට  මහා මෝඩ ප්‍රශ්නයක් නේ කියලා ඔයාලට හිතෙනවා නේද..?
පහු ගිය කාලේ ජීවිතේට එකතු වුන අත් දැකීම් එක්ක මට ටිකක් මේ ඔස්සේ හිතන්නට හිතුනා...
ජීවිතේ සතුට කියලා අපිට අර්ථකථනය කරන්න කොයි තරම් ලොකු පරාසයක් තියද..?
ඒ වුනාට මම පහු ගිය කාලේ ජීවිතේ හරියට අලුත් අත්දැකීම් ගොඩක් වින්දා..
මූණු පොතේ අය නම් photo එහෙම දැකලා මට මඩ ගැහුවත් එක්ක නේ ..
මම එහෙමයි..යන්නේ කොහෙද ගහක් ගලක් ගාව ඉඳන් හරි photo ගන්නවා..මට අන්තිමට ඒ මතකය එක්ක ගොඩක් කල් සතුටින් ඉන්න පුළුවන් නිසා...

පහු ගිය කාලේ මම ගියා නායකත්ව පුහුණු පාටමාලාවකට..මම මේ තරම් කල් ඔය වගේ එකකට ගියෙත් නැහැ...ඒකට හේතුව මගේ කොල්ලෝ දෙන්නා පොඩියි නේ ..දාල යන්න විදියක් නැහැ නේ..ඒකයි..ඒත් දැන් ඒ දෙන්නම ටිකක් ස්වාධීන නිසා මට යන්න පුළුවන් වුනා..දවස් 3ක් ගෙදරින් පිට...නේවාසික පුහුණුවක්..

ලැබූ අත්දැකීම් රාශියයි...නායකයෙකු..ඒ කියන්නේ ...leader කෙනෙකු සතු විය යුතු ගුණාංග ගැන ලොකු අවබෝධයක් අපිට ලැබුනා...ඒ තුලින්...

දවසක මම ඒ ගැන වෙනම පොස්ටුවක් ලියන්නම්කො...

***************************************************************************************
05.අඟහරුවාදා...නොවැම්බර් 2013



ඉතින් දවස් ගත වෙනවා..මේ අවුරුද්ද ගෙවෙන්න තව මාසයකට පොඩ්ඩක් වැඩි කාලයක් තියෙන්නේ නේද...?
කාලය දුවනවා..අපි ඒ පස්සෙන් දුවනවා...ඒත් අල්ලන්නය නේද...?
අධි වේගී මාර්ගයේ පොඩි ගමනක් ගිහින් ආවා...කටුනායකින් ගොඩ වෙලා පෑලියගොඩට ගිහින් ..ආපහු ආවා..අපි 4 දෙනා...ගමනේ දැනුන එකම දේ මට නම් කාලයේ ඉතුරුව තමයි...
අධි වේගී මාර්ගයේ ගමන් පහසුව සහ එහි ගුණ අගුණ ගැන විවේචනාත්මක කතා බොහොමයක් අපි පහු ගිය කාලේ කියෙව්වා..
ඒත්...මම මේ ගැන වැඩි දෙයක් කියන්නේ නැහැ...මොකද..බනින මිනිස්සුම දැන් පිටකොටුවේ බස් පෝලිමේ...අධි වේගී මාර්ගයේ බස් වල යන්න පොරකන හැටිත් මම පහු ගිය දවසක දැක්ක නිසා...


*************************************************************************************

06.බදාදා නොවැම්බර් 2013


වැඩි කල් නොගිහින් අපේ මහත්තයා මාව ගෙදරින් පන්නනවා..මොකද මේ තරම් කල් රස්සාවයි..කුටුම්භයයි මිස එතනින් එහාට දෙයක් නොකරපු මට මේ වැටෙන training program නිසා...
ඒ ගමන ආපහු අම්පාරේ ගියා තව දවස් 3ක්...
අංශභාග රෝගීන් සම්බන්ධව ..(stroke) අම්පාර රෝහලේ තිබුන වැඩමුළුවකට සම්පත් දායකත්වය දෙන්න..
ඒ ගමනත් හරිම අපූරුයි...හැබැයි..දුවන ගමන් තමයි ඔක්කොම වැඩ...
වැඩසටහන හොඳට කෙරුනා....ප්‍රශන්සා වල් ද සමග....
එහෙ ගිහින් ඉඩ ලද ඇසිල්ලේ..බුද්ධංගල..සේනානායක සමුද්‍රය..සාම චෛත්‍ය....දීඝවාපිය...ආදී තැන් බලන්නත් ගියා..
එහෙ මෙහේ ඇවිදින්නත් ලැබුනේ කාලෙකින්..අපේ ගියපු අයත් හරිම එකිනෙකාට සුහද අය..ඒ නිසා කිසිම මතවාද යක් නැතුව...හරිම සතුටින් වැඩේ ඉවර කරලා ගෙදර ආවා...

ගෙදර ආවට පසු...ලැබුන ප්‍රතිචාරය ඉතාම ඉහලයි...
තාත්තයි..පුතාල දෙන්නයි..ඒ මදිවට බල්ලයි...හතර දෙනාම එකම හැඳින් මට නැවත ඔහොම දින ගණන් ගෙදරින් පිට සිටින පුහුණු වලට නොයන ලෙස..තදින්ම බල කර සිටිනවා..
ඔන්න මට වුන දේ....

**************************************************************************************

07.බ්‍රහස්පතින්දා නොවැම්බර් 2013



අපේ ලොකු මලයා බ්ලොග් එකක් ලියන්න අරන් නේද..?මේකේ මූලික පරමාර්ථය ගැන නම් මට දැන් සැකයක් ඇති වෙලා තියෙන්නේ..මොකද හැම පෝස්ටුවකම කැපිලා පේන්නේ මට ගැන මඩ පාර..ඒ මදිවට හසරැල් මට දුන්න පබ්ලිසිටි එකට වඩා මේකට දෙන එකේ මට සැකය වැඩි වෙනවා...

හැබැයි ඔය අදහස මලයා ට දුන්නේ මම ..ඒක ඇත්ත..නේපාලයේ මාසෙකට දෙන නිවාඩු ගොඩ දැක්කම හිතෙනවා...අනේ මේ නිකම් කාලේ කන ජීවිතයක් නේද කියල...අවංකවම ගත්තොත්..මෙහේ ඉන්න කාලේ ගෙදර වැඩ කරලා..කරලා..බේරෙන්න බැරිම තැන තමයි ඔය අවුරුද්දකට නේපාලේ ගියේ...කියන්නේ නම් එහෙම නෙවෙයි..බොරු නම් මගේ නෑනා ගෙන් අහන්න...

කොහොම වුනත්..අපේ පවුලේ තුන් දෙනාම දැන් ලියන්නෝ වෙලා..මට වඩා මේ දෙන්නට ලියන්න පුළුවන්..මටත් බැරුවා නෙවෙයි..හැබැයි මට වැඩ වැඩියි..ගෙදරයි..හොස්පිටල් එකෙයි...ඒ නිසා...මේ දෙන්නා මගේ සායමත් යවලා අතීතය ලියාවි...
දිගටම කට්ටිය ඒවා කියවලා පහන් සංවේග උපදවා ගෙන..මටම මඩ ගහන්නකෝ..

**************************************************************************************
08 සිකුරාදා..නොවැම්බර් 2013



සතියම ඉවර වුනා..මේ සතියේ දිනපොත පරණ සිද්ධි ටික ආවර්ජනය කරමින් ලිව්වා..ලබන සතියේ ඉඳන් දින සටහන ලියන්නම්...
කොහොම වුනත්...ඔයාල ගේ ලෙන්ගතු කමත් එක්ක මම හරිම සතුටින් ඉන්නවා...
ඉස්සර මඩ ප්‍රහාර මැද්දේ වුනත් මම කවි ලිව්වා...ඒ වුනාට කාලයක් යද්දී මට එපා වුනා...හැබැයි අම්පාරේ ගිහින් එද්දී මාත් එක්ක ගිය අනිත් නංගි ..ඒ මතකය අවදි කළා...ඇයි ඔයා ලියන්නේ නැත්තේ කියලා...
ඉතින් ඒ මතකයත් ..එක්ක මම ආපහු ලියන්න ගත්තා..
එකෙන් මම තේරුම් ගත්තේ..මම මගේ ජීවිතේ සමහර සුන්දර දේවල් විහින් මග හරවා ගන්නා බවයි...
ජීවත් වෙන්න තව ඕන නම් අවුරුදු 20ක් තියේවි උපරිමව....
දැනුත් 40යි ..නේ...
ඒ නිසා..කාටවත් කරදරයක් නොවී...ලියන්න ඕන කියලා හිතුනා..දිගටම...

කියවන්න එන්න...
ඉතින්...ඔයාලා හැමෝටම සුබ සති අන්තයක්...


මම කවුද කියලා දැනගත්තට කමක් නෑ..
මට දිගටම black and white කියන්න...
එහෙමත් නැත්නම් කළු සහ සුදු කියන්න...
නැත්නම්..ඕන විදියකට කතා කරන්නකෝ...

ගිහින් එන්නම්...

Sunday, November 3, 2013

64.අමතක වෙන්න කලින්....







මාසයක්ම ගත වුනා..බ්ලොග් එක ලිව්වේ නැහැ...
දිනපොත ලියන්න කීප සැරයක් ආවත්..තිබුන වැඩ රාජකාරි අස්සේ ඒක මගහැරුනා...
ඒ උනාට මට පුදුම සතුටක් දැනෙන්නේ...
කොහොමින් කොහොම හරි බ්ලොගේ හැංගිලා උන්න black n white ව අපේ යාලුවෝ ටික අල්ලාගෙන...මූණු පොතේදී...මේකට තනිකරම වග කියන්න ඕන නලින්..අපේ සමකය වටේ නලින්...
ඊට කලින් Dude මාව අඳුන ගත්තට ...Dude ඒක ශේප් එකේ තියාගත්තා..නැද්ද Dude..?
Dot (යසිත් ), බොරළුගොඩ මහත්තයා..එතකොට අපේ අලුත් බ්ලොග් ලියන ඉස්සර ඉඳන්ම කොමෙන්ටු දාපු දමිත් මල්ලි ...  දේශකයා ...මාරයා ....කට්ටියම දැන් මාව දන්නවා...
ඉතින් සන්තෝසයි ..ඇත්තටම ඔයාල මගේ ගැන හොයනවා..
බොරළු නම් මගෙන් බැනුමකුත් ඇහුවා....
මට fb ඉන්න පුළුවන් නම් බ්ලොගේ ලියන්න බැරි ඇයි කියලා...
අනේ ළමයිනේ මම පැය 24ම fb ඉන්නේ නැහැ...මගේ tab එකේ online වෙච්ච ගමන් fb ඉන්නවා වගේ පේනවා...වැරදියට හිතන්න එපා...

අපේ ගෙදර 3 වෙනි බ්ලොග් කරුගේ ආගමනය සිද්ද වුනා..එකේ හොඳ වගේම නරක ප්‍රතිපලත් තියනවා..
මොකද හසරැල් වගේ නෙවෙයි මගේ ලොකු මලයා..මඩ ගහන්න ගත්තම...මුලින්ම මඩ පාර ගහන්නේ අක්කට..

ඒ වුනාට ඔය කොල්ලෝ දෙන්නා තමයි මගේ ලොකුම හයිය...ඕනෑම දෙයක් කියන්න ..දුක සතුට බෙදා හදා ගන්න..අදටත් කිසිම හිත රිදවාගනීමක් නැතුව ...අපි ඉන්න විදිය ගැන මට තියෙන්නේ ඇහැට කඳුළු උනන තරම් හැගීම් බර ආකල්පයක්...


ඉතින් අපේ කට්ටිය ...මේ බ්ලොග් එක පැත්තෙත් ගිහිල්ල එන්න...මම නොලිව්වත්...අනිවාර්යෙන්ම ...පුංචි කාලේ ඉඳන් අක්කට ගහන්න ඕන මඩ ලෝඩ් පිටින් ඒකෙ තියේවි...

හරි වැරදි....අපි කරන කියන සේරම හරි වුනත් වැරදි වුනත්...අපි ඒවා කරනවා..වැරදුනොත් පස්සේ හදා ගම්මු...හරි යනකල් ම ...

ඉතින් මේ කෙටි සටහන තිව්වේ..මම බ්ලොග් එක ආපහු ලියන්න එන බව කියන්න...නොලියන්න හේතු අහපු මගේ යාලුවන්ටයි..මට බැනපු..බොරළු ටයි ...ස්තුතියි...

ඉක්මනටම ආපහු එන්නම්..


සුබ දවසක්ම වේවා....


Wednesday, October 2, 2013

63. මගේ සතුට බෙදා ගන්න එන්න...





මගේ පොඩි පැoචා අර මහා බරපතල විභාගේ ට ලිව්වා නේ..
ඔන්න ඊයේ ප්‍රතිපල ආවා..
ඉහලින්ම සමත්..

ලකුණු 180 යි...

ඉතින් මට අවංකවම සතුටුයි...
මට ඉතින් සතුට බෙදා ගන්නට ඉන්න මගේ බ්ලොගේ යාළුවන්ට..මේ ආරංචිය දෙන්නයි..මේ කෙටි සටහන ලිව්වේ...

ගිහින් එන්නම්

සුබ දවසක්...



black n white

Sunday, September 29, 2013

62. අපේ දිනපොතේ තවත් සතියක අසිරිය

ජීවිතේ විඩාබරයි...සමහර වෙලාවට මට මේ බ්ලොග් එක ලියන එකත් කම්මැලියි වගේ...ඒත්..සතියේ දවස් ගාන ගත වෙද්දී ..ලිව්වේ නැති වුනාම කෑවේ නැහැ වගේ මටත් දැනෙනවා..
ආයේ .......බැනුම් අහන්නත් බැහැ නේ....
ඔන්න අලස කම දුරැරලා...දිනපොත ට හිත  යොදන්නට ආවා...



^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^

23. සඳුදා....සැප්තැම්බර් මාසේ....2013


හ්ම්ම්ම්...තවත් සඳුදාවක්.....
සති අන්තය කොහෙන් ගෙවෙනවද කියලයි මම මේ හිතන්නේ....
චන්දයකුත් තිබුනා නේද..?
අපිට නම් නැහැ..අපි දැන් බස්නාහිර නේ..
චන්දය ගැන කතා කරද්දී මම කල්පනා කලේ..ඉස්සර චන්දය පැවැත් වූ හැටි ගැන..

දැන් වගේ අර සභා..මේ සභා ..කිය කියා  ඉස්සර චන්ද තිබුනේ නැහැ නේ..
ජනාධිපතිවරනෙයි..මහා මැතිවරනෙයි....
මම කියන්නේ මේ මගේ පොඩි කාලේ ගැන..

ඉස්සර අපේ තාත්තා..සීයා එහෙම චන්දෙට කලින් පොත් එහෙම රූල් ගහලා ලෑස්ති කරගන්නවා..චන්ද ප්‍රතිපල ලියන්නට...ඒ තරම් හරිම උනන්දුයි...

ඉස්සර අපේ සීයා...( මුත්තා..) නිතර කියන කතාවක් මට මතක් වුනා..

ඔන්න අපේ තාත්තා...තාත්තගේ මාමා වන සීයා...එහෙම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ...
තාත්තගේ බාප්පා..වෙන සීයා UNP..
ඉතින් එක පාරක් චන්දෙ තිබිලා...ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ පැරදුනා ලු..ඔන්න ගමේ UNP කරපු අය එනවලු වහලේ උළු ගලවන්නට කියලා..අපේ ගෙදර හිටපු UNP මුත්තා..එලියට බැහැලා...සිංහ නාද කරාලු.."බොලව් ..මාත් හොඳ UNP කාරයෙක් තමයි..පුළුවන් නම් ගලවපියවූ උළු "කියලා...කට්ටිය "හා..හා.ඕන්න අපි ගියා"කියලා යන්න ගියාලු...

ඉස්සර අපේ මුත්තා කියනවා....ඔන්න ඔය වගේ ඒවා හැරෙන්න ප්‍රචණ්ඩ ක්‍රියා කියලා දෙයක් නම් ගම් අහලක වත් තිබුනේ නැහැ කියලා..

ඒකට දැන්.....


^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^

24.අඟහරුවාදා සැප්තැම්බර් මාසේ....2013



සුබ දවසක් .....

පුරුදු ලෙසම වැඩට ගියා...

අපි මනුස්සයෝ විදියට සාමාන්‍යයෙන්...කෙනෙක්..මනුස්සයෙක් පමණක් නෙවෙයි සතෙක් වුනත් ..මැරුනොත්...අපරාදේ,,අනේ අපොයි කියන එකයි...නේද සාමාන්‍ය සිරිත...

ඒත්..අද උදේම වැඩට යද්දී..වාට්ටුවේ ලෙඩෙක් මියගිය පුවතයි අහන්නට ලැබුනේ...
සාමාන්‍යයෙන් රෝහලක මරණ ප්‍රතිශතයක් තියනව නේ දිනකට..
නමුත් අපේ රෝහල.....වෙනස් එකක් නිසා..මරණයක් වෙන්නේ කලාතුරකින්...
එතකොට දැනෙනවා ටිකක් වැඩියි...

ඒත්..මේ පුද්ගලයගේ මරණය ඇහුව ගමන් හැමෝම කිව්වේ..."ඒ දේ එහෙම වුන එක හොඳයි .."  කියලා..මට වුනත් එක පාරටම හිතට ආවේ ඒ සිතුවිල්ල...
මොකද ඔහු රිය අනතුරක් වෙලා ආබාධ සහිත තත්වයට පත් වූ තැනැත්තෙක්..
අත්....පා...කොර වෙන තත්වයට ඇවිත්,,....
කතා කරන්නට බැහැ..
කන්නේ බොන්නේ බට මාර්ගයෙන්...
අපි ඔහුට ව්‍යායාම ප්‍රතිකාර කරන එක පවා..ඔහුට හරිම වේදනාකාරී දෙයක්..

කොහොම කලත් ඔහුව ගොඩ ගන්නට යන කාලය පිලිබඳ නිර්ණයක් කරන්නට අමාරු තත්වයක් තිබුනේ...
ඉතින්...ඔහුට ලැබී තිබුන ක්ෂණික මරණය..( heart attack එකක් විය යුතුයි..)...ඇත්තටම රෝගියාට මහා සහනයක් ම වන්නට ඇති..

මාත් නම් හැමදාම පතන්නේ...ක්ෂණික මරණයක්...විඳවන්නට නොවන...

^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^
25. බදාදා..සැප්තැම්බර් මාසේ..2013...



අපේ පුස්තකාලෙට ගෙනාව පොත් ටික කියවන්නට ඔන්න පටන් ගත්තා..පරිවර්තන ටික පසුවට තිව්වා...ඉල්ලුම වැඩි සරල පොත් ටික බස් එකේ යන එන ගමන් කියවන්නට ගත්තා..දැන් මම දිනපතා ලයිබ්‍රරි එක බාර කෙනාගෙන් බැනුම් අහනවා..මොකද කියවීමේ වේගය වැඩි නිසා...දවසට එක ගානේ පොත් issue කරන එකත් හරි කරදරයක් නේ...

මේ පැණි කතන්දර කියවන කොට හිතෙනවා...අනේ අපිටත් බැරිය මේවා නම් ලියන්න කියලා...හිකිස්...
ඒත්..ඉතින් කිව්වට අපි ලියනවය නේද..?
ඔන්න ඔහේ එයාලම ලියලා කීයක් හරි හම්බ කරගන්න එක නේ...
ඒ වුනාට මේවාට හිනාම වෙන්නත් හොඳ නැහැ..මොකද අපි බොලඳ ය කිව්වට..මේ වගේ චරිත අපේ වටේ ඇත්තටම ඉන්නවා...මේ කතා ත් දැන් අපේ සමාජයේ ඇත්තටම වෙනවා...


^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^


24.බ්‍රහස්පතින්දා...සැප්තැම්බර් මාසේ...2013



මම ඉතින් රෝහලටම අයිති පුද්ගලයා නේ...කාට හරි උදව්වක් කරන එක තරම් මට හිතට සතුටක් දෙන දෙයක් තවත් නැහැ...සමහර වෙලාවට එක මට කරදරයක් වෙන වෙලාවලුත් නැතුවා නෙවෙයි..
එක පාරක් ..කාත් කවුරුවත් නැති ළමයෙකුට මම කන්න පවා ගෙනත් දීලා ප්‍රතිකාර වලට ගත්තා..
අන්තිමේ ඇවිදලා කියලා ගියාට පස්සේ මේ ළමයා..හොස්පිටල් එකට කෝල් කරලා  කාගෙන් හෝ මගේ ෆෝන් නම්බරය ඉල්ලන් දිගින් දිගටම මට කරදර කළා..වෙන නරක දෙයක් නෙවෙයි..විටින් විට සල්ලි කීයක් හරි ඉල්ලලා...
මේක වුනත් මට මානසික වදයක් වුනා...මොකෝ මම මහා බැංකුවේ අධිපති යැ..මාත් මාස් පඩි කාරියෙක් නේ...කොහොම හරි ඒ කරදරෙනුත් බේරුනා...

ඒ වුනත් මට මේ පුරුද්ද නිසා..අවාසි වලට වඩා හොඳ දේත් වෙනවා..
අපූරු පුද්ගලයන් හඳුනා ගන්නට ලැබීම හරිම සුන්දර අත්දැකීමක්..

මගේ වෘත්තීය ඉතිහාසයට දැන් අවුරුදු  16 ක්...යන්තම් වයස 23 වෙද්දී ආව මේ තැන මම අදටත් සතුටින් ඉන්නේ..
මගේ ප්‍රතිකාර වලට ආව අය අතරේ....විශේෂ අය හුඟාක් හිටියා..සමහර අය ටිකක් කල් ආවා..සමහර අය තනි දවසේ සේවයන් සඳහා..(රෝදපුටු වල..අවශ්‍යතාවන් ) ආව අය..

ආතර් සී ක්ලාර්ක් මහත්මයා..එහෙම ආව කෙනෙක්..
ඒ හැරුනම..සුමින්ද සිරිසේන මහතා...සුගතපාල සෙනරත් යාපා මහතා...වගේ අය ප්‍රතිකාර වලට ආවා...

ඊයේ පෙරේදා මෙන්න මෙහෙම උදව්වක් කරන්න ගිහින් හරි අපූරු දරුවෙක් හමුවුනා..
ඒ දරුවා එක්ක කතා කරද්දී මට දැනුනේ පොතක් කියවනවා වගේ කියලා..
කොල්ලා..අපූරු සංචාරකයෙක්..මගේ මේ අවුරුදු 39 ට මම ඇවිදලා තියෙන්නේ හරිම සීමිත ප්‍රමාණයක්..ඒත්..මේ දරුවා ගේ පොඩි වයසට එයා සැහෙන්න ඇවිදලා තියනවා..එක්තරා විදියක පරිසර විද්‍යාධරයෙක් විදියටයි මට හැඟුනේ...ඒ අත්දැකීම් අහන්නට මට තිබුන වෙලාව මදි...අහපු ටිකෙන් දැනුනේ...

ඇවිදින්නට..ලෝකය දකින්නට..සොඳුරු ඉසව් කැමරාවට නගන්නට...ඒ ළමයට තියන්නේ ලස්සන හිත ක් කියලා...මූණු පොතේ ඉන්න අය නම් එයාව හොඳට අඳුනනවා..ඇති...

^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^

25.සිකුරාදා...සැප්තැම්බර් මාසේ...2013


සතියක් ඉවර වෙන්නේ...හුඟක් වෙලාවට හරිම මන්දගාමී අදහසක් හිතට එකතු කරන්...සති අන්තේ එන හින්දා වෙන්න ඇති..
ඒත් මේ සතිය ටිකක් කාර්ය බහුලයි....
අද දවස ඔක්කොටම වඩා අපූරුයි....

අද ඔන්න ආවා පොඩ්ඩෝ ටිකක් ...ලඟපාත ඉස්කෝලෙක ක්‍රිකට් ක්ලබ් එකේ අය..orientation visit එකක් ..මගේ ලොකු කොලු වගේමයි..ක්‍රිකට් කිව්වොත් කන්න බොන්නත් ඕන නැති අය නේ...

ඉතින්...පොඩි ලෙක්චර් එකක් දෙන්න වුනා...අවංකවම කිව්වොත්..මටත් ඉතින් කතා කරන්නට බැරිම නැති මනුස්සයනේ...මම ඉතින් වයස 10-13 ට බැහැලා පොඩි විස්තරයක් දුන්නා..
අපේ අනිත් ලෙඩ්ඩු ටිකත් ඔන්න සේරම ව්‍යායාම නවත්තල ඒ ගමන මේක අහන ඉන්නවා...
පොඩ්ඩන්ගේ දෙමව්පියොත් කීප දෙනෙක්..කෝචර් ල එහෙමත් ආවා..

ලෙක්චර් එක ඉවර වුනාම අපි සාමාන්‍යයෙන් අහනවා නේ ..ප්‍රශ්න එහෙම තියද කියලා...මාත් ඇහුවා...
මෙන්න පොඩි වුන් ටික දිගට හරහට අහන්න ගත්තේ නැතැයි ප්‍රශ්න..

අන්තිමේදී ප්‍රථමාධාර...කැඩුම් බිඳුම්..එකී නොකී මෙකී සේරම ගැන කියලා දෙන්න වුනා..
ඒ වගේම යහපත් ආහාර පුරුදු..නිවැරදි ඉරියවු..ඔන්න ඔය සේරම...

මොනවා වුනත් සතිය ගෙවෙන දවසේ වැඩදායී යමකට අත තිබ්බා කියලා හිතට සතුටක් ආවා..

පොඩ්ඩන් ටික අන්තිමට මට වඳින්න ගත්තාම තමයි ලෝබ හිතුනේ...මගේම දරු පැටවූ වගේ නේ...



^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^

ගිහිල්ලා එන්නම්...සුබම සුබ සති අන්තයක් වේවා...
ලබන සතිය මට විශේෂයි...
සුබ ආරංචියක් අරන් එන්න බලන්නම්...




black and white.....

Thursday, September 26, 2013

61. ..සිඳුන තටු ...

හුදෙකලාවක ගෙවුන පුංචිම පුංචි කාල අන්තරයකදී කුරුටු ගෑ කවි ටිකක් මේ....



ඉගිල ආ සඳ ගිරි හිසග සිට
නවාතැන් සැදුවේ නුඹයි මට
තටු සිදී ගිය කිරිල්ලිය වී
මමයි රැඳුණේ නුඹේ දෙපතුල.....

ගැයූ ගී දෙතොලග දරා හිඳ
දෙතොල් පුපුරා ගැලු සෙනෙහස
නුඹේ සවනත තබා ලූ වෙමි
රැදී නුඹ තැනු කැදැල්ලේ සිට ...

ගෙවූ කාලය අනේ සොඳුරුය
ගැයූ ගී කවි හැඟුම් මිහිරිය
තවත් සවණක එ ගී රඳනට
නොදුන්නෙමි කිසි දිනෙක ඉඩකඩ..

ගී ස්වරය ගැලු සඳ දොරින් පිට
දරා ගනු බැරි වීද සෙනෙහස
කඩා තටු මා නුඹ තුරුල්ලේ
හොවා ගන්නට දැරූ වෑයම...

සුළං ස්වරයක ගලා ගිය මුත්
දෙතොල රැඳී ස්වර නුඹට වේ මැයි
ඉතින් සිඳ ගැමි මගේ තටු මම
නුඹේ සෙනෙහස දරා ගන්නට...





                                                                                                      කළු සහ සුදු....ලියන මම


                                                                                                                                     කිත්.......

Saturday, September 21, 2013

60. මේ අපේ දිනපොතයි...

දවසින් දවසට කොළයෙන් කොලයට ...කොළ ගැලවෙනවා..දින දසුනේ..
මොහොතින් මොහොතට මා ගැන සටහන් වියැකී යනවා..
ඔබ මනසේ...



ඔන්න ඔහොමලු වෙනවා කියන්නේ..ලෝක ස්වභාවය වෙනස් කරන්න අපට බැහැ නේ...

++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

16.09.2013   සඳුදා


කට්ටිය book fair ගියාද..?
ඔන්න මම නම් ඊයේ ගියා..කොල්ලෝ දෙන්නා එක්ක...දවල් වෙද්දී අපේ හසරැල් එහෙමත් ආවා..
පොත් ප්‍රදර්ශනයට ගියාම මට දැනෙන්නේ...කාලෙකින් හම්බ වෙන යාලුවෙක් හම්බ වුනා වගේ..
අතේ සල්ලි තමයි නැත්තේ...ඒ තරම්...
පොත් ගන්නට ගියාම ආස කරන පොත් හරියට මග හැරෙනවා...අත්‍යවශ්‍ය පොත් අරන් එන්න තමයි වෙන්නේ...

කට්ටියම book fair ගිහින් ඇවිත් ගත්තු පොත් ගැන කියන්නට ඕන හොඳේ..

මම සරත් විජේසුරිය මහත්තයාගේ පොත් කීපයක් ගත්තා..පොඩි පොත්..කියවන්නට ලේසියි..කෝච්චියේ යන ගමන් කියවන්නට පුළුවන්...
ඊට අමතරව..දරුවෝ දෙන්නට අවශ්‍ය පොත් තමයි ගත්තේ..ආස කරන පොත් ගන්නට නම් සල්ලි ගෝනියක් තිබුනත් මදි ...ඒ තරමට පොත්..පොත්..පොත්...


මට ඉතින් පොත් ගොඩාක් කියවන්නට ලැබෙනවා...නොගත්තට..
අපි staff අය එකතු වෙලා ...සල්ලි එකතු කරලා...අපේ හොස්පිටල් එකේ පුස්තකාලයට පොත් ගන්නවා...මේකෙදි වඩාත්ම හිතන්නේ....රෝගීන්ගේ රුචිකත්වය..මොකද දීර්ඝ කාලීන රෝග වලින් පෙලෙන රෝගීන් සරල ප්‍රේම කතා...සරල අනෙකුත් කතා කියවන්නට දරන කැමැත්ත...පරිවර්තන වලට දක්වන්නේ නැහැ...එක ඒ අය ඉන්න මානසිකත්වය...ඉතින් තෝරන්නට යන පුස්තකාලය භාරව ඉන්න අය මේ ගැන හිතලා එහෙම සරල පොත් තමයි වැඩි පුරාම ගේන්නේ...

^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^


17.09.2013  අඟහරුවාදා




රෝහලෙන් තොර ලෝකයක් නැති අපිට හැමදාම මතක් වෙන්නේ ලෙඩෙකුගේ විස්තර තමයි කියලා උරණ වෙන්නට එපා...
එහෙම තමයි නේද..?...ඒත්..හැමදාම ගෙදර යද්දී..රෝහලේ දේවල් රෝහලේ ගේට්ටුවෙන් එහාටත්...ගෙදර දේවල් ගෙදර ගේට්ටුවෙන් මෙහාටත් තබා යන්නට මම නම් සැලකිලිමත් වෙනවා...නැත්නම් ජීවිතේ අවුල් ගොඩයි...
ඉස්සර අපේ තාත්තා අපිට කියා දීපු දේවල් අදටත් අපිට හරියට වටිනවා...රජයේ සේවකයෙකු තුල තිබිය යුතු ගුණාංග කියලා විටින් විට කියා දුන්නත් ..ඒ දේවල් අදටත්..අපේ ජීවිත වලට...කොයි ක්ෂේත්‍රයේ උන්නත් වැදගත්....
දුරකථනය භාවිතය තමයි අනිත් දේ...මට නම් ඉතින් උදේ ගෙදරින් එන්න ගත්තු වෙලාව ඉඳන් කාගේ හරි සමාජ සේවා කටයුත්තක් තියනවා..

අහවල් දේට පෙන්නන්න හොඳ doctor කවුද..?
මේ අසනීපෙට සාමාන්‍යයෙන් දෙන බේත් මොනවද..?
මෙන්න මේ test එක කරගන්නට කල යුත්තේ මොකක්ද..?

ඔන්න ඔය වගේ ප්‍රශ්න..අපි..අපිට පුළුවන් විදියට අපේ ක්ෂේත්‍රයෙන් තව කෙනෙකුට කල හැකි උදව්වක් කරන්න ඕන...ඒත් සමහර වෙලාවට..මේ උදව් ගන්න අය දන්නේ නැහැ,,....අපිට මොන තරම් වැඩ තියද කියලා...වෙලාවක් අවේලාවක් නැතුව දුරකථන ඇමතුම් දීලා ඒ ගැනම අහන්නට ගියාම..ඇත්තටම ඒක රාජකාරියට විශාල බාධාවක්...

මම බොහෝ විට දුරකථනය silent දාගෙනයි ඉන්නේ..වැඩ කරද්දී නම්..අවශ්‍යම විටක තමයි..department එකෙන් එලියට ගිහින් call එකක් ගන්නේ...

^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^

18.09.2013 බදාදා



අපි ගත කරන දවසක් ගත්තම ඇත්තටම අපි ඒ දවස තුල කල කී දෑ මත ආත්ම තෘප්තියක් ලබනවාද...?
මම කියන්නේ අපි වෘත්තීය වශයෙන් හරි..එදිනෙදා කරන වැඩ කටයුතු වලින් හරි....
මගේ රැකියාව අනුව නම්..ඒ වගේ දවස් බහුලයි..බොහෝ විට හැම දවසක්ම අලුත් එක අත්දැකීමක් හරි අරන් එනවා...

මිනිස්සු විවිධාකාරයි..ඒ වගේ විවිධ පුද්ගලයන් සමග ගැටෙන විට ලැබෙන අත්දැකීම් ඊටත් වඩා විවිධා කාරයි..

මම මේ ලියන්නේ අද මට ලැබුන එක්තරා අත්දැකීමක් ගැන...මගේ ප්‍රතිකාර වලට යොමු වුන පොඩි කෙලි පැන්චියෙක් ඉන්නවා.වයස අවුරුදු දෙකහමාරයි....මා දන්නා ළමා රෝග වෛද්‍යතුමියක් කරන ලද ඉල්ලේම මතයි මම මේ දරුවාට ප්‍රතිකාර පටන් ගත්තේ...

Sensory Processing Disorder..අහල තියනවද..මේ ගැන..

මෙහිදී වෙන්නේ..අපි සාමාන්‍යයෙන් දන්නා අපේ සංවේදන ඒ වගේ දරුවනට නියමාකාරයෙන් ග්‍රහණය කරගත නොහැකි වීමයි..මේ සඳහා ක්‍රියා කරන විට ඉතාම ඉවසීමක් අවශ්‍යයි...
කොහොම වුනත්..දැන් දැන්..දරුවා ගේ වැඩ වල ලොකු දියුණුවක් දකින්නට පුළුවන්...

මේ අද දවසේ අපි දෙන්නගේ පොඩි ක්‍රියාකාරකමක්...
මේ තුලින් එයයි මායි එයාගේ අම්මයි තුන් දෙනාම..ලැබුවේ සුන්දර අත්දැකීමක් කියලා තමයි මට කියන්නට දැනෙන්නේ..

මේ තමයි hand painting....අත් වලට සංවේදනය අඩු දරුවන් ට කරන අපූරු ක්‍රියාකාරකමක්...

^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^

19.09.2013  බ්‍රහස්පතින්දා




වැස්ස ආයෙත් පටන් අරන් නේද..?
සාරිය ඇඳන් යන්නට එපා වෙන්නේ මේ වැස්සට තෙමෙන්න වුනාමයි..ඇවිදින්නත් අමාරුයි තෙමුනම..ඒ මදිවට පාරේ යන වාහන වලින් නෑවෙද්දී තමයි හොඳම හරිය..මදැයි..කානු වල වතුරයි එක්ක...
අපි හැමදාම අව්වට හරි වැස්සට හරි බැන..බැන ඉන්න මිනිස්සු නේ...

මේ වැස්ස අපිට මෙහෙම බලපානවා නම් වගා කටයුතු වල දීලා ඉන්න අයට..මුහුදු යන අයට කොයි තරම් බලපානවා ඇත්ද..?
මුළු අවුරුද්ද පුරාම වස්සටයි අව්වටයි බැන බැන ඉන්න එක තමයි ඉතින් අපේ වැඩේ නේද..?
මේ වැස්සත් එක්ක වෙන අනතුරුත් බොහොම වැඩියි..ලිස්සා  වැටීම්..අස්ථි බිඳීම්..ඉතින් වැස්ස අපිට කෙලින්ම වැඩ වැඩි කරනවා...
මොනවා වුනත් තමන්ගේ ආරක්ෂාව තමා විසින් සලසා ගත යුතුය...

අද පෝයට නම් ඔන්න වැස්ස.. අඩුවුනා..අපි කැළණි ගියා...සාදු..සාදු...

^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^

20.09.2013  සිකුරාදා


ඔන්න මගේ 60 වෙනි පෝස්ටුවට ද  ආවා ...මේ තරම් දුරක් ආවේ..මේ පෝස්ටු කියවලා ඔබ මා දිරිමත් කල නිසාමයි...
ස්තුතියි හොඳේ...

මේ දවස් වල ලෙඩ්ඩු වැඩියි..අනේ මන්දා..හදිසි එනතුරුම මේ තරම් වෙන්නේ ඇයි කියලා..
මට දැනෙන ප්‍රධානම දේ තමයි මේ හැමදේකටම මුල...අපේ මිනිසුන්ගේම නොසැලකිල්ල ...

අද ආව අවුරුදු 22ක විතර පොඩි ළමයෙක් ..22 කියන්නේ ඒ තරම්ම පොඩිම කියන්නට බැරි වුනත්...අනේ මට නම් පෙනෙන්නේ පොඩි ළමයෙක් විදියටයි..ඒ වුනාට මේ වයස නාහෙට නාහන වයස නිසා...මෝටර් බයික් ඇක්සිඩන්ට් එකක ප්‍රතිපලයක් ලෙසයි...මේ ළමයා ආවේ...

කකුල් දෙකේම උඩ අස්ථි දෙකම කැඩිලා...තවම වාඩි කරවන්නවත් බැහැ...ට්‍රොලියේ ගේන්නේ...
මෙහෙම දරුවන් නිසා..අම්මල තාත්තල වගේම ඒ ළමයිනුත් මොන තරම් suffer කරනවද..?

අද රටේ පාරවල් හොඳයි..වාහනත් එමටයි..වාහනේට නගින්න කලින් මේ දේ දෙසැරයක් හිතනවා නම්...කොයි තරම් අනතුරු වලක්වාගන්නට පුලුවන්ද....?

book fair ගිහින් sherlock holmes පොත් අරන් ඇවිත්...කියවලා ඔලුවට ගැනීම කොයි තරම්ද කියතොත්...හෙට අනිද්දට..අපේ ශ්‍රී ලාංකික ගත් කතුවරයෙක් ..නව නිර්මාණයක් කරන්නට අර අඳින ආරංචියක් මට ආව...මේක පල වෙද්දී ඒක පල වෙලා තියෙයි..බොහෝ විට..බලමු..කෝ...



^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^

සුබ සති අන්තයක් වේවා...!



Saturday, September 14, 2013

59. දිනපොත කියවන්න එන්න...

මෙන්න මේ සතියත් ඇවිල්ලා...සැප්තැම්බරයේ මුල්ම සතිය...


මේ අවුරුද්දේ තව තියෙන්නේ මාස හතරයි....ඊට පස්සේ තවත් අවුරුද්දක්...
මගේ දිනපොත දිගටම ලියන්න පුළුවන් වෙයි ද...?
බලමු නේද..?

+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

02.සඳුදා,......සැප්තැම්බර 2013



ජිවිතේ ඔහේ ගලනවා...සමහර වෙලාවට හෙමින් පොඩි දිය පාරක් වගේ..තවත් සමහර වෙලාවට මහා සැඩ පහරක් වගේ....ඒක ඉතින් වෙලාවෙන් වෙලාවට වෙනස්...

අද ඉතින් මාසේ වැඩට යන මුල්ම දවසේ උදේම ලේ ටිකත් රත්කරන් තමයි උදේම යන්න වුනේ..සිග්නල් අප්සෙට් කියලා කොච්චි වැඩ අඩාල වෙලා...යන්තම් 8.30 වෙද්දී ගියා..හැබැයි ඉර ගහලා...මේක හරි වැඩක් නේ අනේ...උදේ 6.30 ට ස්ටේෂන් එකටත් ඇවිල්ලා..අපේ වරදක් ද නේද..?
නිවාඩු නම් දැම්මේ නැහැ..ට්‍රේන් late එකක් ලිව්වා...

බලද්දී නුවර දුම්රිය මාර්ගයේත්..පුත්තලම දුම්රිය මාර්ගයේත් දෙකේම මේ දේ වෙලා...ට්‍රේන් late ලියුම් ගොඩයි...

මම අර උඩින්ම ලියපු කැටයම් කතාව මේකට අදාළ නැහැ..මම ඔය හවස එන ගමන් මූණු පොතේ දැකපු status එකක් නිසයි..මට මේක ලියන්න හිතුනේ...

අපේ නංගි කෙනෙක් දාලා තිබුනා status එකක් ..එකේ එයාගේ අදහස වුනේ...අනිත් අය මා ගැන හිතන දේවල් google කල හැකි නම්...කියලා...අනේ ...මොකටද නේද..?
අනුන් අපි ගැන දරන මතවාද..හැම විටම දැන ගැනීම ඇත්තටම සුදුසු ද..?සමහර විට නිසලව නිහඬව ගලා යන මේ ජීවිතය සැඩ පහරක් කරන්නට ඒ මත වාද වලට පුළුවන් වෙන්නත් ඉඩ තියනවා..

අනේ මොටද..නේද..? අපි ඔහේ නිසලව ගලා බසිමු...



****************************************************************************

03. අඟහරුවාදා...සැප්තැම්බර  2013



අද තවත් දවසක්....පුරුදු ලෙසම වැඩට ගියා...

දැන් ..මේ බස් එකේදී එන යනකොට දකින ඒවා...ලියන්නම වෙනවා..
දැන් කාලේ තරුණ පිරිමි ළමයි..මේ කලිසම අඳිනවා නේද..hip එකටත් පහළින්..ඇත්තටම මට නම් එක පෙනෙන්නේ හරිම අශෝබන දෙයක් විදියට.අද මම එන බස් එකේ පිරිමි ළමයෙක්..ඔන්න ඔය dot ගේ වයසේ වගේ....ඔය style එකට ඇඳගෙන අර බස් එකේ උඩ bar එකේ එල්ලිලා යනවා...අනේ ඉතින්..ඉතුරු හරිය කොහොමෙයි කියන්නේ...මිනිස්සු මුනෙන් මුණ බලනවා...සමහර අම්මලා..(මේ මම වගේ)කම්මුලට අත තියන් අහක බලන් යනවා..

මේවා style ද ....?

මට මේ කතාවත් එක්ක අපේ කෝච්චියේ යන නංගි කෙනෙක් කිව්ව දෙයක් මතකයට අවේ..දවසක් ඔය වගේ දරුවෙක් ගේ කලිසම බස් එකේදී කාටද පෑගිලා වැටුනයි කියන්නේ..බිමටම...මොන ලැජ්ජාවක් ද..?නේද..?
රටින් එන හැම දේම style කියලා බදා නොගෙන decent විදියට යන්න මේ ළමයින්ට බැරි ඇයි...?

**************************************************************************

04. බදාදා..සැප්තැම්බර  2013 


අද..නිවාඩු...පොඩි ගමනක් ගියා..රත්නපුරේ පැත්තේ...චන්දන...ළමයෝ..පැල්මඩුල්ලත් පහුකරන් ගියා අපි...මට රත්නපුරේ හරියෙන් යද්දී..අර සිරිපාද කන්ද ඈතින් පේන තැනක් තියනවා නේද..? වාහනේ නවත්තලා බලන් ඉන්න ආසයි...
මේ එක්කම මට මතක් වෙන දෙයක් තියනවා..අපේ පොඩි කාලේ ගැන..අපේ ගමේ එක හරියකට ඈතින් පේනවා..ගොන්ගල කන්ද....ඉස්සර 6..7..පන්ති වල ඉන්න කාලේ මම ගියා ගණන් පන්තියකට....අඳුනන අක්කා කෙනෙක් ගේ,...ඒ ගෙදර ගාව පොඩි කඳු ගැටයක් තියනවා...ඒ කන්ද උඩට නැග්ගම..ඈත..ඈත කඳු අතරේ ගොන්ගල කන්ද පේනවා...
මේ කන්ද ගැන දවසක් අහපු කතාවක් මතක් වුනා...මේ ගොන්ගල කන්දේ තියන හරකෙක් වගේ හිසක අඟ වැල් දෙකෙන්  දිය පාර වල් දෙකක් පටන් ගන්නවලු..ඒ එක දිය පාරක් ගිංගඟ ලෙස ගලායන අතරේ..අනිකලු නිල්වලා ගඟ වෙන්නේ...මේ කතාව ඇත්තමද කියන්න මම දන්නේ නැහැ.ඒත් පොඩි කලේ මම එක ඇත්තටම විශ්වාස කළා...

*****************************************************************************

05. බ්‍රහස්පතින්දා..සැප්තැම්බර  2013 



අපේ හසරැල් රබර් බඹරයක් හදලා නේද..?...ඇති යන්තම් එහෙමවත් එකක් ලිව්වා...ගමේ ගිහින් ගෙනාව මතකයන් ගොඩක් තවම හිතේ වගේම ෆෝන් කැමරාවේ තියනවා..ඒවා දවසක පෝස්ටුවක ලියන්න හිතන් ඉන්නවා...

ගමක් කියන හැගීම කෙනෙකුට හරියට වටිනවා..නේද,....? මට නම් ඒක හරියට දැනෙනවා...ගමේ හැම තැනකම තිබුනේ අතීත මතකයන්...ගහක..කොලක..වෙල් එළියක..ඇලක..දොලක...ඔය හැම තැනකම පුංචි කාලේ ඉඳන් බැඳුන මතකයන් ඉතුරු වෙලා තියනවා...

ගෙදර ගිහින් ඇවිත් සතියකට දෙකකට පස්සෙත් ..මම තවම ඒවා ගැන මතක් කරනවා...

අපේ ගම් වල දැන් හරියට මොනරු බෝ වෙලා..ඉස්සර අපි මොනරෙක් දැක්කේ සත්තු වත්තේ දි නේ...? දැන්  ඒකට කෙම්බුරු යායවල් වල කොක්කු ගානට ඉන්නවා නේ මේ සත්තු...ඒ මදිවට..මෙයාලගෙන් බේරෙන්න බැරි නිසා..සර්පයොත් ගෙවල් වලට එනවලු ආරක්ෂාව පතා ගෙන...ඔන්න ඉතින් වෙලා තියන හරිය...


**************************************************************************


06. සිකුරාදා..සැප්තැම්බර 2013




සිකුරාදාත් වුනා..සතියක් යන ඉක්මන...මේ මාසේ මට තියන ලොකුම බලාපොරොත්තුව book fair යාම...පොඩි දෙන්නත් මාත් එක්ක එල්ලිලා එනවා නේ...එතකොට නම් book fair එකෙන් මට ලාබයක් නැහැ පොත් ගැනීමේ...
අපේ පොඩි ඩබල ..එක අවුරුද්දක book fair එකේ ඉඳන් ඊළඟ එකට එනකල් සල්ලි කැට දෙකක් එකතු කරනවා....පොත් ගන්න..මගෙන්ම ඉල්ලගෙන තමයි..හසරැල් අපේ ගෙදර උන්න දවස් වල කැට දෙකකට දෙන්නට හැමදාම රුපියල් 5 ඒවා දුන්නා දාගන්න..ලොකු කොල්ලා මම හිතන්නේ..ඒ කැටෙන් නම්...දානවට වඩා ආපහු ගත්තා...මාමයි බෑනයි දෙන්නගේ රණ්ඩු බේරන එකත් ඒ දවස් වල මගේ එක රාජකාරියක්...

කොහොම හරි ඔන්න මේ සැරෙත් දෙන්නා ළඟ රුපියල් දෙතුන් දාහක් ඉතුරු වෙලා තියන පාටයි...


****************************************************************************


මා ඉතින් යන්න යනවා...මට යන්න අවසරයි..




මේ සැරේ දිනපොත publish කරන කොට සතියක්ම ගෙවී ගිහින්..sorry හොඳේ....