සමහරු ඇවිත් යනවා,...සමහරු පදිංචි වෙලා ඉන්නවා..
තවත් සමහරු ඇවිල්ලා..කවදාවත් නොමැකෙන සලකුණු තියලා සමු ගෙන යනවා...
සමහර අය ..මතක් කරද්දීත් දැනෙන්නේ හරිම මිහිරි හැගීමක්..
මම දන්නවා..කට්ටිය දැන් පීලි පැනගෙන ඉන්නේ කියලා...
රොමැන්ටික් ස්ටෝරි එකක් අහන්න පුල පුලා බලා සිටින ඔබ සැමගේ බලාපොරොත්තු බිඳ දැමීමට සිදුවීම ගැන දැඩි ලෙස කනගාටු වෙන්න මට මේ අවස්ථාවේ සිද්ධ වෙනවා...
මේ සටහන මම ලියන්නේ මට ඉගැන් වූ ගුරුමවක් ගැන...
මේ සටහනට හේතු පාදක වුනේ අද දවසේ සිදු වූ එක සිදුවීමක්...
මම කොළඹ ඉගන ගන්න ආවේ 1995.දී ....
මේ ඉගන ගන්න ආව පුහුණු පාසලේ විදුහල්පති තුමිය ...ඇය ඇත්තටම වචනයේ පරි සමාප්ත අර්ථයෙන්ම මට නම් වුනේ මවක්...ඇයගේ ඉගැන්වීම වගේම මිනිසත්කම ...මට මහා පාඩම් ගොඩක් කියාදුන්න...
කිසිදා කිසිදු ශිෂ්‍ය ශිෂ්‍යාවකට විශේෂත්වයක් ඇය දැක්වුවේ නැහැ..හැබැයි හැමෝටම සැලකුවේ එක වගේ...එහෙම අය අද කාලෙත් ඉන්නවද කියන්න මට හිතා ගන්න බැහැ..
නමුත්....ඇය අපිව ඇගයිය යුතු තැනදී අගයුවා..ඉස්සරහට තල්ලු කරගෙන ගියා..
හැබැයි මට ඇය ගේ මුවින්ම පසු කාලයකදී ලැබුන චරිත සහතිකයට ..මම අදටත් ආදරෙයි..."ගමේ ඉඳන් ඇවිත්..ගමේ කම තියාගෙන මේ තැනින් එලියට ගිය කීප දෙනයි..මම දැක්කේ...ඒ එක්කෙනෙක් ඔයා "..කියලා...මොකද අපේ විදුහල්පති තුමියට මම අඳින පලඳින විදිය පවා මතක තිබුනා..අරුමෝසම් වලට යට නොවුන ..මගේ විදියට ඇය ප්‍රසංශා කළා...
මගේ මතකය දෙයියනේ කියලා බොහොම හොඳයි..ඔය උපන් දින දින වකවානු..සාමාන්‍යයෙන් අගේට මතක හිටිනවා ..
හැමදාම අපේ විදුහල්පති තුමියගේ උපන් දිනේ දවසට මම සුබපතනවා..බොහෝ වෙලාවට ඇය ට ම ලියපු නිසඳැසක් එක්ක සුබ පැතුම් මැසේජ් එකක් යවනවා..
මේ සැරේ වුනේ නැතයි..අමතක..එක වුනෙත් මේ කෙහෙල්මල් ස්ට්‍රයික් එකක් නිසා..ගෙදරට වෙලා උන්නා...අමතකම වුනා...
ඔන්න අද තමයි..උඩ ගිහින් බිම වැටිලා වගේ මතක් වුනේ දෙයියනේ මම මැසේජ් එකක් වත් යැවුවේ නැහැ නේද කියලා..
හැරෙන තැපෑලෙන් දඩි බිඩි ගාලා නිසඳැසක් ලියාගත්ත..යැව්වා මැසේජ් එක...
මේ තියෙන්නේ ඒක...
අහසක් තරම් කුළුණින් පිරූ
ගඟුලක් තරම් සිහිලස මැවූ
දෙවොලක් තරම් බැතියෙන් පිදූ
මගේ මවුනි ඔබ දිනේවා මතු...
මෙන්න ටිකකින් කෝල් එකක්...මගේ ඇස්දෙක තෙත් වුනා...මැඩම් ගේ වචන ටිකට.."ඔයාට මේක අමතක වෙන්නේ නැහැ කියලා මම දන්නවා..එත් මේ සැරේ පහු වෙද්දී අපේ මහත්තයත් ඇහුවා..කෝ ආවේ නැද්ද කියලා...ඒ වුනාට..ගිය අවුරුද්දේ..ඔයා මට එව්ව සුබපැතුම මට අවුරුදු 5,6 කට ඇති කියලා..."
මට ඇත්තටම මතක නැහැ..මම ගිය අවුරුද්දේ මැඩම් ට ලිව්ව නිසඳස..ඒත්..ඒ ගැන මැඩම් මට ගොඩක් කතාකල බව මට මතකයි...
අපි ලියන කියන පුංචි දේත්...කෙනෙක් ගේ හිතට කොයි තරම් බලපෑමක් කරනවද කියලා අපි හිතන්න ඕන..
විශ්‍රාම ගිහින් ගෙදරට වෙලා ඉන්න ඇය...මගේ සුබ පැතුම එක්ක කොයි තරම් සතුටු වෙන්න ඇත්ද කියලා මට ඒ වෙලාවේ තේරුනා...ඒක ඇයගේ කටහඬින් මට හොඳටම දැනුණා..
ජීවිතේ අපිට ආදරය කරන මිනිස්සු ගොඩක් ඉන්න පුළුවන්..ඒත්..මහා ලොකු දෙයක් නෙවෙයි..පුංචිම පුංචි දෙයින් පවා..හිතක් සනසන්න වගේම හිතක් කඩා වට්ටන්නත් අපිට පුළුවන්...
ඒ නිසා..මට අද මේ සටහනෙන් ..මම ඒ කල දේ ගැන දැනුන සතුට ලියා තබන්නයි ඕන වුනේ..