Wednesday, January 29, 2014

72. හීනයක් වගේ මතකයක්




අපේ ජීවිතේ පාට පාට හීන තියන කාලයක් තියනවා..ඒ කාලේ තමයි ඉස්කෝලේ ගියපු කාලේ...මගේ ඉස්කෝලේ කාලේ නම් සුන්දර හීන මතක රාශියකින් පිරිලා තිබුන එකක්...පාට පාටින් හැඩ වුන ඒ හීන ඇතුලේ ඉඳ හිට කඳුලුත් නොතිබුනා නෙවෙයි..ඒ වුනාට ලෝකෙටම පේන්න අපි හිනා වෙලා උන්නා.

බාලිකාවේ අරලියා මල් සුවඳ එක්ක අපේ ජීවිත හරි අපූරුවට ගෙවුනා.දඩබ්බර කම් නොකලා නෙවෙයි.අනන්තවත් කළා...ගුරුවරුන්ගෙන් බැනුම් අහන්න ඇති කප්පරකට .ඒත් අපේ ටීචර්ස් ලා අදත් අපිට හරිම ආදරෙයි...ඕනෑම [පරණ ගෝලයෙකුට අපිව අඳුන්නලා දෙන්නේ හොඳම නිර්වචනයන් එක්ක ...
හුඟක් වෙලාවට දෙන කොමෙන්ට් එක වෙන්නේ..." මුන් අර එක ළමයෙකුට පිස්සු හදවපු උන් නේ " කියලා...තනිකරම පිස්සු වැඩ කරපු අපි එක්ක උන්න  එක ළමයෙකුට ඇත්තටම පිස්සු හැදුනා කිව්වොත් එක අතිශයෝක්තියක් නෙවෙයි..ඒත් ඒ කතාව ප්‍රසිද්ධ කරන්න බැරි...මේකට අදාළ චරිත තවම ජීවත් වෙන නිසා...
ඒක...අපේ වරදක් නෙවෙයි....

මම කියන කෙනා සාමාන්‍යයෙන් ඒ තරම් ප්‍රසිද්ධ චරිතයක් වුනේ නැහැ ...කිසිම පැත්තකින්..
ලස්සන අතින් වත්...ඉගනීමට ප්‍රබල දක්ෂතා පෙන්නපු අය අතරට වත්..ක්‍රීඩාවට වත්..එහෙම ලොකු දක්ෂ කමක් මම පෙන්නුවේ නැහැ ...ඉතින් සාමාන්‍ය චරිතයක් විදියට තමයි මම උන්නේ...

මට උන්න ගොඩාක් යාලුවෝ අතරේ හරිම ලෙන්ගතු අය උන්නා...අදටත් මම ඒ අයව මතක් කරන්නේ හරිම ආදරෙන්...සමහර මතක අමතක කරන්න බැහැ...ඒත්..මම දන්නවා ඒ කිසිම කෙනෙක් මේ බ්ලොග් එක නම් කියවන්නේ නැහැ කියලා .එහෙම කියවන අය වුනා නම් මට ආයේ ඒ ලෙන්ගතු හිත් හමු වේවි...

මාතරින් සමු අරන් කොළඹට එද්දී...පාර පනින හැටි පවා කියා දීපු මගේ ෆිට් ම යාලුවෙක් උන්නා...අද ලොකු දොස්තර මහත්තයෙක් වුනත්...( නම කියන්න බැහැ නේ ) තවමත්..ඒ මතකය ඇවිස්සුවොත් අනිවාර්යයෙන්ම මාත් එක්ක හිනා වෙන්න තරම් සරල මනුස්සයෙක් ඒ ...

ඒ වගේම ...ඉස්සරම දවසක ...පන්ති ඉවර වෙන්න රෑ  වුනාම මාව බස් එකට නග්ගන්න කිසිම හිතේ කහටක් නැතුව ආපු එක කොල්ලෙක් උන්නා...මම කොළඹ ආවට පස්සේ..එකම එක දවසයි මට හම්බ වුනේ ..නම දර්ශන අතපත්තු....මට ඒ යාළුකම කොයි තරම් වටිනවද කිව්වොත්..අදටත් මම දර්ශනයව හොයනවා ..ඒත් අද දර්ශන ඉන්නෙ කොහෙද කියන්නවත් දන්නේ නැහැ...
කෙල්ලොන් වෙලා උන්න බොහොමයක් දෙනා අද අම්මලා...මට මූණු පොත ඔස්සේ බොහෝ අය හමු උනා ...අපි තවමත් මතකයන් අවුස්සනවා...ඉඳ හිට චැට් එකකදී...



මේ මතක අස්සේ හිතේ පැලපදියම් වුන සුන්දර චරිත කොයි තරම් නම් ද...
අදටත් සොඳුරු මතකයක් ව ඉන්න ...සුන්දරම මිනිස්සු...
අපේ ඒ කාලය හරිම සංවේදී වුනා..
class වල දි ...මග තොටදී...රහසේ කතා කරපු ඇස් අතරේ කොයි තරම් මතකයන් අදටත් ඉතුරු වෙලා ඇත්ද...?
අද කාලේ ඇති වී නැති වී යන තාවකාලික සම්බන්ධතා අතරේ..ඒ අතීතයන් ඇත්තටම සොඳුරු මතකයන් ම තමයි...

අපි අතර තිබුන යාළුකම් ගැන සම්බන්ධතා ගැන ...කල... කවට කෙලි සිනා ගැන...දඩබ්බර කම් ගැන ...තවමත් ඒ පන්ති කාමර ,පාරවල් කියාවි...

මේ සැරේ මාතර ආවම මට හිතුන දෙයක් තමයි...දවසක මාතර ගිහින්....ඒ හැම පාරකම ආපහු පයින් ඇවිදින්න ඕන කියන එක...
CEO එක..ගුරුකුලේ...ඇලවේල්ල පාර..කාලිදාස පාර..උයන්වත්ත පාර...බීච් රෝඩ් එක....ඉසදීන් ටවුම...හැමපාරකම ආපහු යන්න ඕන ...
ඉස්සර වගේම හිතෙන් හරි ඒ කාලෙට යන්න ....ආස අය තව ඉන්නවද දන්නේ නැහැ ...

සමහර විට හැමදේම වගේ ඒ අයගේ සිතුම් පැතුම් වෙනස් වෙලා ඇති....අපි ජීවත් වෙන්නේ දුවන ලෝකෙක..ඒත් ...මට මම වගේම හිතන එකම එක යාලුවෙක් හරි හම්බ වුනොත්...මම ආපහු ඒ අතීතේ කියව කියවා....මාතර පාරවල් වල ඇවිදිනවා....

අතීතය හරිම සුන්දරයි...
එහෙම නේද....








Sunday, January 19, 2014

71.මගේ 2013 චාරිකා සටහන - දෙවැනි කොටස

ඉතින්..ගිය සතියේ චාරිකා සටහන කියවපු ඇත්තෝ මට මඩ වගේම මලුත් එවලා තිබුණා..
ඒ ඔක්කොටම බොහොම ස්තුතියි..
මේ ඉතින්..ලියන්නට යන්නේ ඉතුරු කොටස...
මේකෙන් මේ සටහන ඉවර වුනොත්..මම පුරුදු පරිදි දිනපොත සහ මගේ කෙටි සටහන් ගොඩට එනවා ආපහු..
නැත්නම් මගේ චාරිකා බලලා ඇති වේවි ..

පොළොන්නරුවට ආව ගමනේ තොරතුරු...තමයි මේ ..

දෙවැනි දවසේ උදේ පාන්දරම කෑම කාලා ඔන්න අපි හතර දෙනා එලියට බැස්සා...
පාර වල නම් අපුරුයි ...අපේ මහත්තයා හැටට හැටේ යනවා..දෙපාරක්ම පොලිසියෙන් ඇල්ලුවා...
මොකුත්ම නොදී දඩත් නැතුව කොලත් නොලියා ශේප් වුනා...සල්ලිත් නොගෙන...හොඳම හොඳ පොලිසියක් නේද ලංකාවේ තියෙන්නේ

පොළොන්නරු එන ගමන් අපි ගිරිතලේ වැව් බැම්මට ගියා...අපේ මහත්තයයි මා යි ඉන්න ෆොටෝ එකට මූණු පොතේ මඩ මහා ගොඩක් වැදුනේ අන්න එහෙදි තමයි...
හරිම සුන්දර තැනක්...මහා වැවක්...


ගිරිතලේ වැව් බැම්මේ තව ටිකක් එහාට යද්දී තියනවා ..වන ජීවී දෙපාර්තමේන්තුව ට සම්බන්ධ කෞතුකාගාරය..පොඩි දෙන්නට වගේම අපි දෙන්නටත් ඒක හරිම අපූරු අත්දැකීමක් ගෙනාවා..පොඩි තැනක් වුනාට ඒක හරි අපූරුයි..

සංරක්ෂණය කරන ලද විවිධ ආකාරයේ සතුන් මෙහි තිබුණා..ඒ පැත්තේ යනවා නම් පොඩි අයට අපූරු තැනක්...

පොළොන්නරුවට ඇවිල්ල දවල්ට කාලා එහෙම අපි ඇවිදින්න ගියා...කීප වතාවක්ම පොලොන්නරු ගියාට ළමයි දෙන්නට වගේම ...අපිට වුනත් කොයි තරම් බැලුවත් ඒ දේවල් ඇති වීමක් නැහැ...

නටබුන් සහිත ප්‍රදේශය එක ආසන්නයේ පිහිටි නිසා...බලන්න යන්න ලේසියි...

පුලතිසි පිළිමය..

මෙතැන දැන්වීමක් දාලා තියනවා..පිළිමය පමණක් චායාරුප ගන්න...පිටුපාලා..පුද්ගලයන් ට ගන්න එපා කියලා...සිංහලෙන්ම ..ඒ වුනාට එක දිහා බල බලා අපේ මිනිස්සු කරන්නෙම ඒ දේමයි...අනේ ඇත්තට..

මේ නිශ්ශංක ලතා මණ්ඩපය..


රන්කොත් වෙහෙර...

කිරි වෙහෙර ..
මේ සුදු පැහැය ..පසු කාලීනව හුණු පිරියම් කල එකක් නොවෙයි ලු...මුලින්ම තිබුන පැහැයමලු...
අනිත් දේ තමයි ජනප්‍රවාදයේ කියවෙනවා..මෙහි වර්ණය ගැනීමට ඒ කාලයේ උන්න කිරිමවුවරු තමන්ගේ මවු කිරි දුන්නා කියලා....


නමක් හරියටම මතක නැහැ...ඒ වුනාට මේ කොළ පාටට මගේ ඇහැ ගියේ....

පොළොන්නරු ගියාම මගේ හිතටයි ඇසටයි දෙකටම සමීපම තැන තමයි ගල් විහාරය...
මේ තරම් සජීවී විදියට පිළිම නෙළන්නට..ඒ කාලේ උන්න කලාකරුවන් ගේ හැකියාව ගැන හිතාගන්නවත් බැහැ

පින්තුර ගොඩක් දාන්නට මම නොහිතන්නේ ..ඒවා මුණු potha හරහා මම දැම්ම නිසා..

පොළොන්නරුවේ අපි නැවතුනේ සාමාන්‍ය තැනක අහම්බෙන් ලැබුණ..පරාක්‍රම සමුද්‍රයේ එක පසක තිබුන මේ තැනට මම ආසයි...උදේම ඇහැරලා එලියට බැහැලා..පිණි පිරුන වැව් පිටියේ ඇවිදන් යද්දී...මා දුටු සොඳුරුම දසුන මේ ..

ඉතින්..මගේ චාරිකා සටහනේ තව චුට්ටක් ඉතුරුයි...ඒක මේකට එකතු කරන්න බැරි වෙයි...කමක් නැහැ...නේද..?තව සතියකට ඉඩ තියමු...
ජීවිතේ අපි අපේ  පුංචි රට ඇතුලේ ටිකක් හරි ඇවිදින්න ඕන..ලෝකේ තියන ලස්සනම රට අපේ රට..අපි ඒ රට රක නොගත්තොත්..ඉස්සරහට බලන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ ...
මට දැනුන දේ මෙන්න  මේකයි...


ඉතින් ගිහින් එන්නම්....
ආයේ හමු වෙමු....


සුබ සති අන්තයක් වේවා....


Wednesday, January 15, 2014

70. 2014 සමගින් ....කළු සහ සුදු...ගේ චාරිකා සටහන්...

2014 ජනවාරි මසෙනුත් දැන් දවස් 15ක්ම ගෙවිලා ගිහිල්ලා..ඇත්තටම් මම බ්ලොග් එකේ කිසිම දෙයක් ලියලා නැහැ .මේ තරම් ලියන්න කම්මැලි කමක් ඇති වුන කාලයක් තවත් නැහැ .දුක කියන්නේ කිසිම හේතුවකුත් නැතුව මම ලියන්න කම්මැලි වීමයි...

මීට වඩා අතිශයින්ම කාර්ය බහුල වුන කාලවලදී පවා මම බ්ලොග් එක ලිව්වා .දිනපොත ලිව්වා...අනිත් අයගේ බ්ලොග් කියෙව්වා...කොමෙන්ට් දැම්මා..ඒත්..මේ වකවානුවේ මම ඒ මොකුත්ම කරලා නැහැ.වෙලාවකට මේ මම ම ද කියලා හිතෙන තරමට මම හුදෙකලා වෙලා....

ශානු ...රට ඉඳලත් මූණු පොත හරහා දැන් කීප සැරයක්ම මට මතක් කළා බ්ලොගේ ලියන්නේ නැද්ද අක්කේ කියලා ...ඇත්තටම් ලියන්න ඕන කියලා දැනුයි මට ඔන්න මට හිතට ගැම්මක් වගේ එකක් ආවේ...
අනේ මේ ගැම්ම දිගටම පවතීවා....

******************************************************************************************

ලියන්නට නිමිත්තක් හොයා හොයා ඉන්න කොට තමයි මතක් වුනේ පහු ගිය කාලේ දෙසැම්බර් මාසේ ගිය ට්‍රිප් රාජයා ගැනත් මොනවා හරි ලියලම පටන් ගත්තොත් හොඳයි කියලා..
පොඩි දෙන්නයි ලොකු ළමයයි මායි..අපි හතර දෙනා ඉස්කෝල නිවාඩුවට සාමාන්‍යයෙන් පොඩි ට්‍රිප් එකක් කවර් කරනවා නේ..වෙනදට නම් අපේ හසරැල් උන්නැහේ අපි එක්ක යන්න එනවා...ඒ වුනාට මේ පාර වර්ෂ අවසානයේ අතිශයෙන්ම රාජකාරි බහුලයි කියලා ආවේ නැහැ ...

ඉතින්...වෙනදට නම් අපි ට්‍රිප් එකක් යන්න ගියාම ..හොටෙල් බුක් කරන්නයි..යන රූට් එකේ මැප් එක හදන්නයි වැඩ ගොඩයි..මේ සැරේ මගේ මහත්තයා කිව්වා...ඔන්න ඔහේ ඉස්සෙල්ලා එලියට බහිමු..ඊට පස්සේ බලමුකෝ යන විදිය කියලා...
මාත් ඒ වගේ අවිනිශ්චිත වැඩ වලට පොඩ්ඩක් කැමතියි...මට මේ වගේ ප්ලෑන් නැති ගමනකට පුදුම ආසාවක් තිබුනේ කොහොමත්...හා..එහෙනම් යන්කෝ කියලා...අපි ඔන්න දෙසැම්බර් 23 එලියට බැස්සා...

මම වෙනදට නම් කෑම හදන යන්නේ නැහැ..මේ පාර වෙනසකටත් එක්ක..උදේට දවල්ට කන්න හදාගත්තා...මොකද මගේ මේ ළමයි 3 දෙනා ටම සාමාන්‍යයෙන් කන්න බැහැ...(රොඩ්ඩක් වත් ඉතුරු වුනොත් තමයි පුදුම )

යන ගමන් දඩගමුවේ කැලේ මැද්දේ නවත්තලා උදේට කෑවා..ඊට පස්සේ ට්‍රින්කෝ යමු කියලා තීරණය කළා...
කොහොමින් කොහොම හරි ට්‍රින්කොත් ගියා...නිලාවැලි මූද අයිනේ හෝටලයක් හොයාගෙන නැවතුනා...
අපි ගමනක් ගියොත් එකෙත් මොකක් හරි පරහකුත් තියනවා..මූද සැරයි හොඳටම ...මූදේ නාන්න නම් බැරි වුනා..පොඩි දෙන්න ස්විමින් පුල් බැස්සා..මම ඉතින් මූද අයිනට වෙලා..මගේ ෆෝන් එකේ චායාරුප හැකියාව උරගා බැලුවා...
මේ තියෙන්නේ එයින් සමහරක්...


හුදෙකලාවට කියාපු තැන....හරිම නිස්කලංකයි...


මේ නිලාවැලි මූදු තීරය...හරිම ලස්සනයි...


වැලි තලා මත ඇඳුනු පිය සටහන්...
හැබැයි මේකට මාරයා....නම් කිව්වේ..යෙටී ගේ පිය සටහන් කියලා....

කොහොමින් කොහොම හරි ....හවස් අතේ කොනේශ්වරම් ගියා...
සුන්දරයි...

මේ තියෙන්නේ තොටිලි ගහ...
දරු පල ප්‍රමාද වූ සහ අහිමි අය මේ ගහේ ..ලී තොටිලි එල්ලලා බාර හාර වෙනවා...
හරිම වර්ණවත්...


ලවර්ස් ස්ලිප්.....
මෙතනින් පහලට පැනලා ආදරවන්තයෝ සිය දිවි හානි කරගත්තලු...
මට නම් පහල බලද්දිත් මැරෙන්න බය හිතෙන තරම් එතන ගුප්තයි...



මූදේ ඈතින් සාම්පූර් පේනවා....
ත්‍රස්තවාදීන් ත්‍රිකුණාමලයේ වරායට...ෂෙල් ගැහුවා කියනවා නේ සාම්පුර් ඉඳලා ඒ දවස් වල...


මේ තමයි රාවණා කැපුම...
මේ ගැන විස්තරයකුත් එතන තිබුනා..


චුට්ටක් ලොකු කරලා කියවලා බලන්නකෝ...විස්තරේ

හවස් අතේ ට්‍රින්කෝ ටවුන් එකට ගියා...
බීච් එක අයිනේ...කළු ගල් බැම්මක වැඩි වෙලා ඉද්දී ආව කඩල විකුණන මනුස්සයගෙන් කාපු කඩල ගොටු තරම් රස කඩල නම් මම කවදාවත් කාල නැහැ...ඒවා එලවලුත් දාලා හදන්නේ...
කොහොම හරි අපි 4 දෙනා රුපියල් 200 ක විතර කඩලම කෑවා...


හැබැයි..ඔය බිම තියන අපද්‍රව්‍ය අපි දාපුවා නෙවෙයි...මිනිස්සු කොහේ ගියත් පේනවා නේද...රටකට කරන දේ...පොලිතින්..ටින්..හිස් බෝතල්..හැම තැනම....රටක් ලස්සනට තියාගන්නේ කොහොමද ඉතින්...

ට්‍රින්කෝ වල අපි උන්නේ එදා විතරයි..පසුවදා ගත් ක්ෂණික තීරණයක් මත අපි ආවා පොළොන්නරුවේ...

ඒ ගැන පින්තුර සමග කතාව ඊළඟ පෝස්ටුවට...කල් දාන්න හිතුනා...මොකද දිග වැඩි පින්තූර කතා කියවන්න කට්ටිය කම්මැලියි නේ ...

 

අම්මෙක්ගෙයි පුතෙක් ගෙයි මේ සුන්දර ආදරේ මට දකින්න ලැබුනේ නිලාවැලි මූදු තීරෙදී....
ඒ ඇසිල්ලේම ෆෝන් එකෙන් මේ ටික මතකෙට තියාගන්නත් මට අමතක වුනේ නැහැ ...


ඉතින් ..පොළොන්නරුවේ විස්තරත් අරන් මම ඉක්මනට ඊළඟ පොස්ටුවෙන් එන්නම්...
සුබ දවසක්...හැමටම ..