Thursday, July 24, 2014

81. අහිමි සඳ නුඹ ...

කවි පොත පෙරල පෙරලා බලන්න වෙලාවක් ආවා...
ලියූ කවි ...කටු අකුරු දාහක් මැද්දේ....තනි වෙච්ච කවි ගොඩක් ඉකිගහනවා..
හැමදාමත් ඔබව සිහිවෙලා ඉකිගැහෙන මේ හිත වගේම..
ඒ කවි ගොන්න තනි වෙලා..
දුක....ඒ එකම කවියක් වත් ...ඔයා උන්න කාලේ මට ලියාගන්න බැරි වුන එකයි...
ලියාගන්න බැරි කමට වඩා...
හිතේ කුකුසක් තිබුණා....
ඔයා මේ කවි වලට ආස වෙන එකක් නෑ කියල...මට හිනා වෙයිද කියල හිතුනා..
ඒත්...දැන් ඉතුරු...
පසු තැවිල්ලක්...
ඔයා මේවා දැක්ක නම් ඇත්තටම ආස වෙයි....

සඳ ගිරි හිසෙන් සඳ සාවුන් බැස යද්දී
ඉරමල උඩින් ඉර ගිරවුන් ඉගිලෙද්දී
සියපත් තඹර පෙති ඇහැරී පිබිදෙද්දී
නුඹ ගැන මතක හිත ඇතුලේ නැළවෙද්දී......

බාලේ ඉඳන් නුඹේ තුරුලේ උණුසුමට
දැවටී වේලි උන්නා මතකයි හොඳට
දුක් ගිනි උහුලමින් මා දැඩි කල පිනට
අම්මේ මං ණයයි දිවි ඇති තුරු නුඹට....

ලොව ජය අරන් මා මිනිසෙකු වූ දවසේ
නුඹේ නෙත තුටු කඳුළු බැබලුණි හොර රහසේ
වියපත් වෙලා නුඹ අද උන්නද මෙලෙසේ
නුඹ මගේ ලොවයි ,......මම රකිනෙමි මගේ නෙතු සේ......



**************************************************************************************

සමහරක් වෙලාවට.....කියාගන්න බැරි වුන හැඟීම්....පසු කාලීනව එලියට එද්දී...
ඒවායේ දැවටුනේ...කඳුලක දුක....
පසුතැවීමක...මතක සටහන්....
හිතේ කොනක ..තවම ඒ දුක්බර මතකය
සැරි සරනවා....



පුංචි දවස් වල දඟකම් පෑවම....
කෝටු පාර දී ඇඬේව්වාට මම..
තරහ වුණා නුඹ එක්කල
මම  අම්මේ,,......

අකුරු ලියන්නට කම්මැලි වූ දා..
නුඹෙන් ඇසු තරවටු හින්දා මම
තරහ වුනා නුඹ එක්කල
මම අම්මේ...

අද නුඹ ළඟ නෑ තරහ වෙන්න වත්...
දුර ලෝකෙක නැවතුමක්
සොයා ගොස්..
විඳිනට තරවටු
නුඹෙන් එදා මෙන්
බලා ඉන්නවා මම
තාමත් අම්මේ....



හිතට දැනෙන සුන්දර හැඟීමක් ඔයා..
කවි දාහක් ලියවෙන්නේ....
ඒ ආදරේ වෙනුවෙන්....


ඉතින් හෙටත් ....
ඔයා වෙනුවෙන්...
කවි ගී ලියවේවි...

****************************************************************************************

ඉතින්....
මම සමුගන්නම්...
සුබ සති අන්තයක්....


මම කළු සහ සුදු....

Saturday, July 19, 2014

80. හිම පියළි






මම මගේ මේ පෝස්ටුවට එහෙම නමක් දැම්මේ ඇයිද කියල මම ම හිතනවා...
ඒත් මේක ලියන්න ඕන කියල හිතට ආව වෙලාවේදී මට මතක් වුනේ හිම පියළි....අර කාටුන් වල එහෙම පෙන්වන්නේ කැරකි කැරකි උද ඉඳලා වැටෙන හිම පියළි...අන්න ඒවා..
මම ඇත්තෙන්ම ඒවා දැකල නැහැ....
ඒත් ඉක්මනට බිඳිලා යන හිම පියල්ලක් වගෙයි මේ ජිවිතේ කියලා මට හිතෙනවා..
කලකිරිලද...?
අනේ නැහැ....
මේ ජිවිතේ අත්දකින අනුන්ගේ අත්දැකීම් එක්ක එහෙම නොහිතෙනවා නම් තමයි පුදුමේ....



පෝය දවසේ පන්සලට ගියාම බෝ ගහ මුල ඉඳගෙන මම කල්පනා කලෙත් මේ හිම පියළි වගේ ජිවිතේ ගැන..
බෝ ගස මුල වැටිලා තියන කොළ බැලුවම ලා රතු පාට දළුත් තියනවා....ලා කොළ පාට දළුත් තියනවා...ටිකක් තද කොළ පාට කොලත් තියනවා...දුඹුරු වෙලා වියැකුණ කොලත් තියනවා...
ඒ එකක්වත් වෙනසක් නැතුව පොළවට වැටිලා...
මිනිස්සුන්ගේ ජිවිතත් ඒ වගේ...ළමා විය..තරුණ විය..වැඩිහිටි විය වගේම මහලු විය කියල වෙනසක් නෑ...ලෙඩ වෙන්නයි...මිය යන්නයි....
කෙනෙක් කියාවි...මේක ඔයා අදද දන්නේ..මේක බුදුන් වහන්සේත් දෙසූ දෙයක් කියල...ඔව්...මම අද නෙවෙයි දන්නේ..
ඒත්...මේක හිතට දැනෙන්නත් වෙලාවක් එන්න ඕන...

රෝහලේ වැඩ කරන කාලය තුල හමු වෙන විවිධ වූ වයස් කාණ්ඩ වල ආබාධ සහිත වුවන් දිහා බලන් ඉද්දි...මේ හිම පියළි මගේ හිතට වද දෙන්න ගන්නවා....ජිවිතේ හරිම අස්ථාවර දෙයක්....




ලා රතු පාට දළු කොලයක් ගැන ලියලම ඉන්නම්කො..

මේ දිනවල ඉන්න එක පොඩි කොලු පැටියෙක් ඉන්නවා..දමිළ ජාතික...ඒ වුනාට..මෙතැන දි මම එක සඳහන් කලේ..ඒ පොඩි දරුවා..සිංහල බස හසුරවන හුරුබුහුටි කම අපි ඔක්කොගෙම හිත අරන් තියන නිසා...අපිට ගෙන කොට මේ දරුවා හදිසි අනතුරකින් මොළයට හානි වුවා කියා තිබුණා මිසක..වැඩි විස්තරයක් තිබුනේ නැහැ..නමුත් මුල් කාලය තුලදී අපි ට මහා වෙහෙසක් දරන්න උනා..ඔහුගේ චර්යා රටාව හඳුනා ගන්න..එක තැනක එක මොහොතක් තියාගන්න අමාරු තත්වයක්....පොඩි පොඩි කප්පම් දෙන්නත් උනා..
මගේ බෑග් එකේ බිස්කට් එකක් චොකලට් එකක් ඉඳහිට රැඳුනේ...මේ කප්පම් වෙනුවෙන්...

කොහොම වුනත් කාලය එක්ක ඔහු වෙනස් වෙන්න ගත්තා,....අද වෙද්දී ඇවිදින මට්ටමට අව මේ හුරුබුහුටි පැංචා ට දැන් අපි අකුරු ලියවනවා...හුරු අත ආබාධය නිසා ගැටළු සහගත වෙද්දී අනිත් අතින් ලියන්නට දැන් ඔහු අපි එක්ක පුරුදු වෙනවා...
දියවෙන්නට ඔන්න මෙන්න තිබු ඒ පුංචි හිම පියල්ල...දැන් හිරු කිරණට බැබලෙනවා....




මගේ  ලා කොළ පාට දළු කොලේ...ගැන මේ..
සුන්දරම යුවතියක්..දැක්කම දෙසැරයක් හරි බලන්නට හිතෙන සුන්දරත්වයක්...
ලස්සනට් ජිවත් වෙන්න ඒ හිතේ කොයිතරම් සොඳුරු පැතුම් තියෙන්නට ඇත්ද..
ඒත්...එක මොහොතක් ඇති සියලුම දේ උඩුයටිකුරු වෙන්නට..
හිම පියළි...දිය වෙන්නේ මෙහෙම සිදුවීම් වලදී..
ඒත්...වාසනාවකට...ඇය සුළු ආබාධ සහිතව බේරුනා..නින්ද ගිය මෝටර් පැදි ධාවකයකුගේ හපන් කමකින් ජීවිතය බේරුනත්..ඇය අද මුහුණට වූ ස්නායු හානියට ප්‍රතිකාර ලබනවා....



තද කොළ පාට කොළ එක්ක තමයි...වැඩි හරියක් කාලය ගත වෙන්නේ....
මේ දිනවල හරිම අහඹු ලෙස...වටිනා කියන සංගීත මාස්ටර් ලා කීප දෙනෙක් ම ප්‍රතිකාර වලට ආවා...
අංශභාග තත්වය වැළඳුන...ඔවුන් ගේ අසනීප තත්වය පුළුවන් තරම් ප්‍රතිකාර නිසා සුව කලත්....
සංගීත භාණ්ඩයක් වදනයේදී ඇති වන සියුම් ක්‍රියාකාරකම් වල ගැටළු ඔවුන්ට ඉතුරු කරලා තියෙන්නේ දැඩි මානසික පීඩනයක්..
එය පිටින් බලන්නෙක් නම්  "අයියෝ..ජිවිතේ බේරුනා එක මදැයි...ඕකත් ප්‍රශ්නයක් ද " කියල අහන ගණයේ වුවත්....තමන් ආසම කරන තමන්ගේ ජිවිතයේ සුන්දරම දේ සංගීතය වෙන ඒ වගේ සොඳුරු මිනිසුන්ට එය මහා කඩා වැටීමක්..



වියලෙන්නට ආසන්න ජිවිතේ සැන්දෑ සමය එක්ක...වියපත් භාවය සහිතව එන සීයලා ආච්චිලා දුඹුරු පැහැ කොළ අතරට මගේ අත්දැකීම් අතරේ ඉන්නවා...
මේ අයගේ මා දකින අපුරුම දේ තමයි..යුවලකගේ එකිනෙකා අතර අලුතෙන් ඇති වන බැඳීම...එක අයකු රෝගී වී ආබාධ සහිත වූ විට කුඩා දරුවකු මෙන් ඔවුන් රක බලාගන්නේ..අනිත් කෙනා..මේ යුවලවල් එක්ක ඉද්දි...ඔවුන් ගේ පුංචි පුංචි නෝක්කාඩු..රණ්ඩු එහෙමත් මැද්දට අපිටත් එක්කාසු වෙන්න වෙන වෙලාවල් තියනවා..එක හරිම සොඳුරු අත්දැකීමක්...
නමුත් වියපත් වුවෙක් රැක බලාගැනීම...ඉතාම වගකීමෙන් කල යුතු දෙයක්....

හිමපියලි එක්ක මගේ හැඟීම් ගලා යනවා..මෙන්න මේ වගේ...
ජිවිතේ සුන්දරද..අසුන්දරද..කියලා මේ හරහා අපිට නිර්ණය කරන්න බැහැ...
නමුත්...වැටහීමකින් යුතුව...ජීවිතය දකින්න...
හිමපියල්ලක් සේ ජීවිතය....රක ගන්න...අපි වගබලාගන්න ඕන..
අපෙත් අවශේෂ සියලුම දෙනාගේත්...
සුළු මොහොතක අත්වැරදීම ජීවිතේට ගෙන එන්නේ...
මහා කටුක අත්දැකීමක්...
සමහර විට මේ වගේ දේ නිසා..මුළු ජිවිතයම විඳවන්නට වෙන්නට තියන ඉඩ බොහොමයි...




ඉතින්....මේ හිම පියල්ලක් බඳු ජිවිතේ...
පරෙස්සම් කරගෙන රැකගෙන..
විඳින්න...


සුබ සති අන්තයක්....


මම

කළු සහ සුදු...