මේ එවන් අත්දැකීමක්....
මම වැඩිය ලියන්නේ නැහැ....
ඒත් කියවන්න...
දැනෙන දේ කොයිතරම් ද කියලා මට කියන්න ...
බත උයාදී දවස සරි වන තුරා මග බැලු මියුලැසි
ලෙඩ ඇඳේ හිටිවනම උන්නම මට ඉතින් වාවනු බැරී
පුරා විසි තිස් වසක් එක්වී දුකද සතුටම කල හැටි
මතක් වෙනකොට කෙසේ වාවා සිටින්නද නොදනිමි යලී....
ලෙඩක් නොහැදුණ කෙනෙක් නොම උන් ගෙයක් හොයනෙමි හදවතින්
ඇයත් එලෙසම කියා උන් හැටි ඉහෙන් බහිනා ලෙඩ නොවින්
කොහෙන් මතුවුණු රෝ බියක් විද හිතා ගනු බැහැ මට ඉතින්
අනේ මගේ සඳ ඔහේ ඔත්පල යහනකට වූ හැටි දුකෙන් .....
සුවක් ලබනට ඔසු සොයන්නෙමි අහස උසටය මිල ගණන්
පිරිමි මට ඉඩ නෑ ලූ ඈ ළඟ ගැහැණු අය ඉන්නා තැනින්
දවස් කුලියට හිටින්නට නම් හතර වට ඕනෑ තරම්
දවස් තුනකින් නොකෑ මට ඒ මිලක් හොයනට බෑ ඉතින් ...
නොකා නොමබී එකට මිය යමු කියා මා හා ආ දිනේ
අදත් මතකයි ඊයේ වාගේම මගේ ළඟ උන්නා අනේ
මුදල් අග හිඟ කමින් අසරණ මගේ නෙතු දෙස බැලු සැනේ
නුඹේ නෙතඟට නැගුන ඒ දුක කියාගනු බෑ මට අනේ ...
වියත් මහතුනි රටක් කරවන අසන මේ අවනඩු අපේ
මිලක් දෙන්නට නොහැකි දවසට උරුම මහමග දෝ අනේ
සරස්වතියකි මට මගේ ඇය අතටමිට හිඟ වුව අනේ
හෙටත් අප වන දැනන් අසරණ නොවන අරුණක් දෙනු මැනේ.....
නිමිත්ත
සිය ඔත්පල බිරිඳ ළඟ නවත්වන්නට කෙනෙකු තැබීමට මුදල් නැති හෙයින් ඇය නිවසට ගෙන යන්නට තීරණය කල සැමියෙකුගේ නොකියා කියූ හැඟීම්...
19 / 03 / 2015